පෙබරවාරි 15 වෙනිදාට පෙර ICC ක්‍රිකට් තහනම ඉවතට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකාවට පනවා තිබෙනා ක්‍රිකට් තහනම පෙබරවාරි 15 වැනිදාට පෙර ඉවත් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි ICC ප්‍රධාන විධායක නිලධාරී Geoff Allardice ඉතා ඵලදායි සාකච්චාවක් පැවැත්වීමට තමාට ඉඩ ලැබුන බවත්, ICC ප්‍රධාන විධායක නිලධාරී සිය සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද හමුවූ බවත් ඔහු පවසයි .

ICC නියෝජිත පිරිස පසුගියදා කොළඹ පැවති සාකච්ඡා පිළිබඳව සෑහීමකට පත් වූ බවත්, ඔවුන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකාවේ තරග තහනම ඉවත් කිරීමට හරිත එළියක් ලබා දුන් බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය

ICC නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ව්‍යවස්ථාව පිළිබඳව දැනුවත්ව සිටි බවත්, ICC ආචාරධර්ම පද්ධතියට ගැලපෙන පරිදි රෙගුලාසි සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටි බවත්, වත්මන් ක්‍රීඩා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනාධිපති වික්‍රමසිංහ ද කැමැත්ත පළ කර ඇති බැවින් අනාගතය දෙස සුබවාදීව බැලීමට හැකි බවත් ඔහු පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ සංචාරක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!