පූර්ණ ශ්‍රවණාබාධිත තැනැත්තන්ටත් රියදුරු බලපත්‍ර…

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා ප්‍රථම වරට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

එතුමා මේ පිළිබඳව මෙලෙස කරුණු දැක්විය.

“ලෝකයේ දියුණු රටවල සිංගප්පූරුව, ඇමෙරිකා එක්සත් ජනපදය, අනෙකුත් රටවල් බොහොමයක් ශ්‍රවණාබාධිත තැනැත්තන්ට සැහැල්ලු වාහන පැදවීම සඳහා සම්මත ක්‍රමවේදයන් සකස් කරලා, බලපත්‍ර ලබා දෙන වැඩපිළිවෙළක් ලොව පුරා ක්‍රියාත්මක වෙනවා.

මේ සදහා විවිධ පාර්ශවයන්ගෙන් මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, ලංකා ඔටෝ මොබයිල් සංගම, ශ්‍රවණාබාධිත තැනැත්තන්ගේ සම්මේලන, පොලිස්සි වල රිය පැදවීම පිළිබඳ අංශ, පුහුණු කිරීම් ආයතන, ජාත්‍යන්තර සංවිධාන යන ආදියෙන් විශාල වශයෙන් කරුණු සලකා බලලා අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කලා.”

මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කය මුල් කරගනිමින් නියමු ව්‍යාපෘතියක් පැවැත්වූ අතර ප්‍රථම වතාවට පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට සැහැල්ලු වාහන බලපත්‍ර ලබාදීමට හැකි වූ බව ද එතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!