පාසල් උත්සව සඳහා දෙමපියන්ගෙන් මුදල් එකතු කිරීම වලකන චක්‍රලේඛයක් මධ්‍යම පලාත් සභාව නිකුත් කරයි

මධ්‍යම පළාත් සභාව තම පාලනය යටතේ ඇති පාසල් වෙත විශේෂ චක්‍රලේඛය නිකුත් කොට ඇත.

එමගින් මධ්‍යම පළාතේ සියලුම පාසල් මගින් සංවිධානය කරනු ලබන උත්සව සංඛ්‍යාව හතකට පමණක් සීමා කරන ලෙස දන්වා ඇති බව වාර්තා වේ. මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක මේනක හේරත් විසින් මෙම විශේෂ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ ඇතැම් පාසල් විසින් උත්සව සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලද පැමිණිලි සැලකිල්ලට ගනිමිණි.

මෙම චක්‍රලේඛයට අනුව පළමු වාරයේදී උත්සව 3ක් ද, දෙවන හා තෙවන වාරවලදී උත්සව 4 ක්ද පැවැත්වීමට අවසර ලබා දී ඇත. ඊට අමතරව කිසියම් උත්සවයක් පවත්වන්නේ නම් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අවසර ලබාගත යුතුව ඇත.

පළමු වාරයේදී ළමුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය, නිදහස් උත්සවය හා නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවය පැවැත්වීමට අවසර හිමිවෙයි. ඒ අනුව දෙවන හා තෙවන වාරයේදී අධ්‍යාපන චාරිකාව, කලා උළෙල, වර්ණ ප්‍රධානෝත්සවය, වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය පැවතීමට අවසර ලබාදී ඇත.

කවීෂා විදානගමගේ


මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!