පාතාල සාමාජිකයන් මරා දැමූ තරිඳු ධනුෂ්කගේ නිවස සහ මෝටර් රියටත් ගිනි තබයි.

අහුන්ගල්ලෙ නිවසක් සහ එහි මෝටර් රියක් ගිනි ගන්නා බවට අහුන්ගල්ල පොලීසියට අද(12) අලුයම 3.15ට පමණ ලැබුණු පණිවිඩයක් අනුව එහි ගොස් ගින්න නිවා දැමීමට කටයුතු කළ බව පොලීසිය පැවසීය. මෙලෙස ගිනිගෙන තිබුණේ අහුන්ගල්ල-මිද්දෙනිය ප්‍රදේශයේ නිවසකි.

නිවසේ හිමිකාරියගේ බෑනා වන තරිඳු ධනුශ්ක ද සිල්වා නැමැති අය පසුගිය වසරේ අප්‍රේල් 14 වන දින මිද්දමුල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මරා දැමීමෙන් සති තුනකට පමණ පසු නිවසේ අයිතිකරුවන් මෙම නිවස අතහැර ගොස් ඇති බවද අහුන්ගල්ල පොලීසිය පවසයි.

මෙම සිද්ධිය පිළිබඳව අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති චරිත් හල්විට ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් වැඩිදුර පර්යේෂණයේ පවත්වයි.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!