පසැල් සිසුන් තුළ ප්‍රචණ්ඩත්වය ඉහළ යමට වැඩිහිටියන්ද වගකිව යුතුය

පසුගියදා නිමාවට පත්වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අප කාටත් මතකය. විභාගය අවසන් වූ දින සිසුන් තමන්ගේ සතුට සැමරූ හැටි ද, ඒ සැමරුම් හි ස්වභාවය සමාජ මාධ්‍ය ඔස්සේ උඩුගත වූ සැටි ද මතකය. මේ ඒ ගැන කතාවයි.

වසර 11ක් අප රට දරුවන්ට ලබා දී ඇති අධ්‍යාපනයේ ප්‍රතිඵල, ඔවුන් ලියූ විභාගයේ ප්‍රතිඵල වලට පෙර අප දැක්කෙමු. ඉඳින් මවු තුරුලෙන් පසු පූර්ව ළමාවිය සංවර්ධනයට පෙර පාසලටත්, ඊට පසු ප්‍රාථමික අධ්‍යාපනයට පාසලටත්, ශිෂ්‍යත්ව විභාගයෙන් පසු කනිෂ්ඨයටත් දරුවන් ඇතුළත් වේ. වසර එකොළහක් සපිරෙන කළ දරුවන් සාමාන්‍ය පෙළ විභාගය ලියයි. එය සාමාන්‍ය කරුණකි. මෙරට පාසල් අධ්‍යාපනය ආරම්භ වූ දා පටන් වර්තමාන අධ්‍යාපන ක්‍රමය දක්වා අවුරුදු දාසයක නව යොවුන් වියේ දරුවන් සාමාන්‍ය පෙළ ලියනු අප දැක ඇත. එයද සාමාන්‍ය කරුණකි. නමුත් පසුගිය වසර කීපය තුළ දරුවන් අතර නව රැල්ලක් නිර්මාණය වී ඇත. විභාගය අවසන් වූ පසු එය සැමරීම ඉතාම අසාමාන්‍ය ස්වරූපයක් ගෙන ඇත.

වසර ගණනාවක ඉතිහාසයේ පසෙකලා අපට මේ ආසන්නතම දින කීපයේ සිදුවූ සිදුවීම් පෙළ විමසිය හැකිය. දරුවන් එකිනෙකාට නිල් වතුර ගසා ගැනීම, තීන්ත සුදු ඇඳුම් මත තවරා ගැනීම, විවිධ වර්ණවලින් යුතු පෑන් වලින් සුදු ඇදුම් මත යම් යම් දේ ලිවීම ඊට උදාහරණ වේ. තවත් පාසලක පිරිමි දරුවන් තමන්ගේ උඩුකය නිල ඇඳුම ඉරාගෙන සිටිනු සමාජ සමාජ ජාලාවල පළ විය. තවත් තැනක විභාගය ලියූ විභාග ශාලාවට දරුවන් ගෞරව දක්වා ඇති ආකාරය අප කවුරුත් සංවේදී කරවන්නක් විය. එහි වූ විදුලි පංකාවේ පෙති තලා පහලට නවා ඇත. වාඩි වූ ඩෙස් පුටු පවා සිවිලිමේ එල්ලා විනාශ කර ඇත. එම සිදුවීම ගැන නම් තව තවත් කිව යුතුය.එම විනාශය සිදු කළ පන්ති කාමරයේ එසේ මෙසේ එකක් නොවේ. එනම් සාමාන්‍ය දුප්පත් ගම්බද පාසල කුදු නො වේ. එහි සුදු සිවිලිමක්, අලුතින් ගාන ලද සුදු තීන්ත, සුදු පුවරුවක් හා දරුවන්ට සුව පහසුව සඳහා සවි කරන ලද විදුලිපන්කා හතරකි. වීදුරු සහිත අලුත්ම ජනෙල් ය. එය අප රජයේ නිදහස් අධ්‍යාපනයේ අවමය ට වඩා සුපිරි පංති කාමරයක් ය. නමුත් දරුවන් එය විනාශකොට ඇත. මෙම පන්ති කාමරේ නම් නුදුරු දිනකදීම තිබුණාටත් වඩා සුව පහසුවට යළි ප්‍රතිසංස්කරණය වනු ඇත. නමුත් එවැන්නක් සිදු කිරීම සඳහා දරුවන් තුළ වූ පෙළඹවීම, වියරු සිතිවිලි යළි කවදා ප්‍රතිසංස්කරණය වේවිද?.

සැබවින්ම අධ්‍යාපනය යනු කුමක්ද? එයට බොහෝ නිර්වචන දිය හැකිය. විවිධ අර්ථකථනයන් දිය හැකිය. ඒ අතර දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය කිරීම යන සරල වූ නිර්වචනය තුළින් අප දරුවන් දෙස බලමු.සැබවින්ම එම කරුණ ත්‍රිත්වයේ එකින් එකට බද්ධය. ඉන් එකක් හෝ නොමැති අධ්‍යාපනය අසම්පූර්ණය. වර්තමානයේ වෙන විට වෙනවිට පාසල් තුළ දැනුම සහ කුසලතා යන කරුණු ද්විත්වය අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන බව පෙනේ. ඒ මන්ද යත් අපොස සා.පෙළ සහ උසස් පෙළ විභාග ලියන දරුවන්ගේ ප්‍රතිඵල A9 සහ A3 ලෙස පැවතීම. නමුත් ආකල්ප සංවර්ධනය පාසල් තුළ ඉගැන්වීම සිදු වන්නේ බොහෝ අල්ප වශයෙන්ය. කොණ්ඩය රැවුල කැපීම, සුදු ගවුමේ වාටිය ලෙහීම, ජංගම දුරකථන පතන පාසල් තුළට රැගෙන ඒම වැලැක්වීම, දණගැස්සීම පහරදීම් වැනි කායික දඬුවම් හා විනය නීති පැනවීම තුලම පමණක් දරුවන් ආකල්ප වෙනස් නොවනබවත්,අප විසින් දරුවන්ට දී ඇති අධ්‍යාපනයේ කොතැනක හෝ අඩුවක් පවතින බවත්, වැඩිහිටි සමාජය විසින් අවබෝධ කර ගත යුතුව ඇත.

තමා විභාගය ලියූ පාසලට, පන්ති කාමරේට පුටුවට මේසයට ස්තුතියි කර පැමිණි දරුවන් අල්පය. දරුවන්ට හැඟෙන පරිදි, වසර 11ක් පුරාවට දරුවන් සිරකරගෙන සිටි දැහැන් බිඳුණා වූ සතුට ඔවුන් සමරුවේ ඉහත කී විනාශකාරී පරිදිය. නමුත් පාසල් අවසන් වූ පසු හෝ විභාගය අවසන් වූ පසු දරුවන්ට සමුගැනීමේ සාදයක්, සිත් සේ අතපය විහිදා නැටීමට ගීත ගැයීමට අවස්ථාවක් උදාකර දුන්නේ නම් හෝ එවැනි සංස්කෘතියක් ඇති කරගැනීමට දරුවන්ට අනුබල ලැබුණේ නම් කොතරම් යහපත් ද.

අපේ රටේ අධ්‍යාපනය තුල දරුවන්ගේ ආකල්ප සහ මානසිකත්වයන් කඩා වැටීමට මූලිකම හේතුව දේශපාලන මැදිහත් වීමයි. තවද අධ්‍යාපනය සඳහා ප්‍රතිසංස්කරණ, අණපනත්, චක්‍රලේඛන, ප්‍රධාන පාසල් දුෂ්කර පාසල් යනාදී ශ්‍රේණිගත කිරීම, ගුරු වැටුප්, ගුරු හිඟය, සහ නිසි කලට දරුවන් වෙත විභාග නොපැවතීම යනාදී බොහෝ හේතු කාරණා නිසාවෙන් දරුවන් මානසික වශයෙන් පාසල් තුළ සිරකරුවන් වී සිටියි. ඔවුන් එයින් මුදවා ගැනීමට නම් මුළු මහත් අධ්‍යාපන සමාජ ක්‍රමයම වෙනස් විය යුතු යැයි හැඟේ.දෙමාපියන් ගුරුවරුන් අධ්‍යාපන බලධාරීන් යන සියලු දෙනා සමාජ වගකීමෙන් ක්‍රියා කළ යුතුය. එමෙන්ම දරුවන්ට මානසික වශයෙන් උපරිම නිදහසක් ලැබෙන පරිදි පාසල් පද්ධතිය ක්‍රමිකව වෙනස් කළ යුතුය. එවිට යහපත් ආකල්ප පිරි දරුවන් අද හෙට නොවුනත් තවත් වසර කිහිපයකින් හෝ අපට දැක ගැනීමට හැකි වෙනු ඇතැයි අපේක්ෂා කරමු.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *