පලස්තීන සරණාගත පවුල් දෙකක් ශ්‍රී ලංකාවට

හමාස් ඊශ්‍රයල් යුධ ගැටුම නිසා ගාසා තීරයේ තමන් සතු සියලු දේ අහිමි වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පලස්තීන පවුල් දෙකක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය Zuhair Dar Zaid පවසන පරිදි මෙම පවුල් දෙක ශ්‍රී ලාංකික සහ පලස්තීන සම්භවයක් ඇති පවුල් දෙකකි. පවුල් දෙකේ මව්වරු ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෝ.

“අපට විදේශ ගමන් බලපත්‍ර නොතිබූ අතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අපට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට උදව් කළා,” 16 හැවිරිදි සයීඩ් අල්-හබාෂ් මාධ්‍ය වෙත පැවසීය.

“මට ජීවත් වෙන්න ආදායමක් නැති නිසා මම අසරණයි. මගේ දරුවන් ගැටුමෙන් වැඩිපුර පීඩාවට පත්වෙලා. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ඇනහිට තිබුණා. භාෂා ප්‍රශ්නය නිසා ඔවුන්ට අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න අමාරුයි. දැන් මගේ අභිප්‍රාය මගේ සැමියාත් ලංකාවට ගෙන්වා ගැනීමයි. අපි දැනට පදිංචි වෙලා ඉන්නේ කෑගල්ලේ. කෙසේ වෙතත් මගේ දරුවන්ට කොළඹ රැඳී සිටීමට අවශ්‍යයි, ”සයීඩ්ගේ මව Sithi Suiheina පැවසුවාය.

ගාසා තීරයෙන් පලා යාමට පවුල් දෙකට උපකාර කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය සෙයිඩ් ශ්‍රී ලංකා රජයට ස්තූතිය පුද කළේය. “ගාසා තීරයේ සාමය පවතින බව දැකීමට අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමු. ඊශ්‍රායලයට අවශ්‍යව ඇත්තේ පලස්තීන ජනතාව ඔවුන්ගේ මව්බිමෙන් පන්නා දැමීමටයි. ගාසා තීරයේ ජන සංහාරයක් ඇති අතර එය නැවැත්විය යුතුය. එහේ මිනිස්සු සෑහෙන්න අමාරුවේ වැටිලා” ඔහු කීවේය. ගාසා තීරයේ මේ වන විට 23,000ක් පමණ මිය ගොස් ඇති බව ඔහු පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!