නාඋල වැසියන්ට වැලි මැක්කාගෙන් ප්‍රවේසම් වන්නැයි උපදෙස්

වැලි මැක්කා දෂ්ට කිරීම හේතුවෙන් ලීශ්මනයිසීස් රෝගය වැළඳුණු රෝගීන් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් රැසකින් වාර්තා වනබව නාඋල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.

මාතලේ හා දඹුල්ල රෝහල් මගින් මෙම රෝගයට ප්‍රතිකාර ලබා ගත් හා ලබා ගන්නා පිරිස් පිළිබඳ කළ සොයා බැලීමකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

නාඋල, නාලන්ද, උඩුදෙණිය වැනි නාඋල ආශ්‍රිත කලාපය සහ සේනාගම ගම්මානය ආදී ප්‍රදේශ රැසක පිරිස් ලීශ්මනයිසීස් රෝගය සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇති බව වාර්තාවේ.

නාඋල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ වෛද්‍ය විජිත ඒකනායක මහතා පැවසුවේ සමේ වේදනා ඇති නොවන තුවාල ගණන් නොගෙන සිටීම නිසා වැඩි තුවාල ප්‍රමාණයක් හෝ වර්ධනය වූ තුවාල මෙම රෝගයේදී දක්නට ලැබෙන බවයි. මෙම රෝගී තත්ත්වයෙන් ආරක්ෂාවීම සඳහා ජීවත් වෙන නිවෙස් අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම, රෝගී තත්ත්වයන් දුටු සැණින් ප්‍රතිකාර ලබා ගැනීම හා අවට පරිසරය පිළිබඳ වඩාත් සැලකිලිමත්ව කටයුතු කිරීම මහජනයා විසින් සිදු කළ යුතු බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!