දේශපාලන උවමනාවන්ට වැඩ වර්ජන කරන අයට ජනතාව පාඩමක් ඉගැන්විය යුතුයි

අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ ආර්ථික අර්බුධය විසඳා රට ස්ථාවර කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් දිය යුතු බව තමන් පුද්ගලිකව විශ්වාස කරන බවයි.

මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා අද (18) මේ බව සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, නිපුණ රණවක, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී විය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

ප්‍රශ්නය – අද දින පැවතුණ වැඩසටහන ගැන කතා කළොත්?

පිලිතුර- අපි ආණ්ඩුව පිහිටවපු මුල් අවුරුදු තුන ඇතුළත නොයෙකුත් අර්බුධවලට මුහුණ දුන්නා. කොරෝනා නිසා අපිට අවුරුදු දෙකක් වැඩ කරගන්න බැරිවුණා. එවෙලාවේ අපි මිනිස්සුන්ගේ ජීවිත බේරාගන්න වැඩ කළා. ඊට පස්සේ අරගලය නිසා මාස හය,හතක් වැඩ කරගන්න බැරිවුණා. වර්තමාන ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කරන වෙලාවේදිම කිව්වා ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකරන්න කියල. ඒ අනුව අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළා. ඒ කමිටුවේ තීන්දු තීරණ අනුව තමයි අපි මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල වැඩ කරගෙන යන්නේ.

ප්‍රශ්නය – ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පොහොට්ටුවේ වැඩ පිළිවෙල කොහොමද?

පිලිතුර – අපෙක්ෂකයෙක් ඉදිරිපත් කරනවද නැද්ද කියල පොහොට්ටුව පක්ෂයක් විදියට තවම තීන්දුවක් අරගෙන නැහැ.ඒක ඉදිරියේදී තින්දු කරාවි. මහ මැතිවරණයක් පවත්වන්නේ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකරන්න පුළුවන් පුද්ගලයන් පත්කරන්නයි. හැබැයි ජනාධිපතිවරයෙක් පත් කරන්නේ රටේ ජාතික ප්‍රශ්න විසඳන්නයි. උදාහරණයක් කිව්වොත් 2005 දි මහින්ද රාජපක්ෂ මහත්තයව පත්කලේ යුද්ධය අවසන් කරන්නයි. ‍ඒ වගේම මිනිස්සු මෛත්‍රීපාල මහත්තයට ඡන්දය දුන්නේ රටේ යහපාලනය ඇති කරන්නයි. හැබැයි එතුමා ඒක කරාද නැද්ද කියල ජනතාව තීන්දු කරාවි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ගෙනාවේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන්නයි.

ප්‍රශ්නය – පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට රනිල් වික්‍රමසිංහ නම් කළ යුතුයි කියල ඔබ කියල තිබුණා. ඒක පක්ෂයේ මතයද?

පිලිතුර – ඒක මගේ පුද්ගලික මතය. වර්තමානයේ රටේ තියෙන ලොකුම අර්බුධය තමයි ආර්ථික අර්බුධය. අද කතා කරන නායකයෝ ඔක්කොම පැනල ගියපු වෙලාවක ආර්ථික අර්බුධය විසඳීමෙ වගකීම භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විතරයි. ඒ නිසා ආර්ථික අර්බුධයෙන් රට බේරාගෙන රට ස්ථාවර කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයට තවත් අවස්ථාවක් දියයුතු බව මම වගේම බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඊට පස්සෙ පුළුවන් හොරු අල්ලන අය, කයිවාරු ගහන අය පත්කර ගන්න. හැබැයි රටේ ජාතික ප්‍රශ්නය විසඳන්න වත්මන් ජනාධිපතිතුමාට තවත් අවස්ථාවක් දිය යුතු බව මම විශ්වාස කරනවා. මොකද අත්දැකීම් නැති ජනාධිපතිවරයෙක් පත්කරගෙන රට නැවත අනතුරේ හෙලන්න බැහැ.

ප්‍රශ්නය – ඒ කියන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදි පොහොට්ටුවේ සහය වත්මන් ජනාධිපතිතුමාට ලැබෙනව කියන එකද?

පිලිතුර – නෑ.. මම කිව්වෙ මගේ මතය. පොහොට්ටු‍ව පක්ෂයක් විදියට අනාගතයේදී තීන්දුවක් ගනීවි.

ප්‍රශ්නය – හැබැයි ධම්මික පෙරේරා කියනව තමන් පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනව කියල?

පිලිතුර – මම පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. මම දන්න විදියට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පක්ෂයක් විදියට ධම්මික පෙරේරා එක්ක එහෙම එකඟතාවයකට ගිහිල්ලා නැහැ.එහෙම සාකච්ඡාවක් වුණා කියල අපිව දැනුවත් කරලවත් නැහැ.

ප්‍රශ්නය – ජනාධිපතිතුමා නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද?

පිලිතුර – එතුමා ඉල්ලනවද නැද්ද කියල මම දන්නෙ නෑ. හැබැයි එතුමා ඉල්ලනවනම් අපි අවස්ථාවක් දිය යුතුයි.

ප්‍රශ්නය – රාජ්‍ය ආයතනවල වර්ජන රැල්ලක් ක්‍රියාත්මක වෙනවා. මේ ගැන මොකද කියන්නේ?

පිලිතුර – දැන් රටට සංචාරකයො එනවා. සංචාරකයන් එන එක නවත්වන්නනම් අරගල කරන්න ඕන. වැඩ වර්ජන කරන්න ඕන. එතකොට රටට විදේශ මුදල් ලැබෙන්නේ නැහැ. එතකොට ආර්ථික අර්බුධ හැදෙනවා. වෘත්තීය සමිති දේශපාලන න්‍යාය පත්‍ර අනුව වැඩ කරල රට වැට්ටුවොත් ආපහු පෝලිම් යුගයක් නිර්මාණය වේවි. ජනතාව මේ තත්ත්වය තේරුම්ගෙන වැඩ කරන්න ඕන. එක පාරක් අරගල කරල දේශපාලනඥයන්ගේ ගෙවල් ගිනි තිබ්බා. එහෙමනම් මේ වැඩ වර්ජන කරන මිනිස්සුන්ට ජනතාව පාඩමක් උගන්වන්න ඕන.

ප්‍රශ්නය – සමහරු කියනව වෘත්තීය සමිති තහනම් කරන්න ඕන කියල?

පිලිතුර – වෘත්තීය සමිති හොඳයි. වෘත්තීය සමිති තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න ඕන. නමුත් අද වෘත්තීය සමිති වැඩ කරන්නේ දේශපාලන න්‍යාය පත්‍ර අනුවයි. ඒක වැරිදියි.

– ප්‍රදීප් අනුර කුමාර

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!