ජනප්‍රිය රංගන ශිල්පිනී සබීතාට නඩු.

රුපියල් ලක්ශ 2කට ආසන්න දායක හා අධිභාර මුදල් ගෙවීම පැහැර හැර ඇතැයි ජනප්‍රිය රංගන ශිල්පිනී සබීතා පෙරේරා, ඇගේ සැමියා සහ ඔවුන් සතු ව්‍යාපාර ආයතයට එරෙහිව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (20) නඩු පවරා ඇත.

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය එලෙස නඩු පවරා ඇත්තේ රුපියල් එක්ලක්ෂ අසූ අටදහස් පන්සිය අනූනවයක (1,88,599) දායක හා අධිභාර මුදල් ගෙවීම පැහැර හරින ලදැයි චෝදනාව මතය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නාවල, විජයබා මාවත, අංක 176/1 ලිපිනයේ පදිංචි ජනප්‍රිය රංගන ශිල්පිනී සබීතා ජානකී පෙරේරා කෝට්ටේ, ජයවර්ධනපුර පාර, අංක 284 ලිපිනයේ පදිංචි දොන් උපාලි ජයසිංහ සහ ඔවුන්ගේ ආයතනයක් වන කොළඹ 9, බේස්ලයින් පාර, අංක 717 ලිපිනයේ පිහිටි ඩී. පී. ජයසිංහ ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් නම් කර තිබේ.

මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ හමුවේ කැඳවීමට නියමතයි.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!