ගාල්ල – කුලය හා මනාප දේශපාලනය

ශාන් විජයලාල් සිල්වා සමගි ජනබලවේගයට එක්වීම ගාල්ල දේශපාලනයේ චිත්‍රය මුළුමනින්ම වෙනස් කිරීමට හේතු වන්නේය.

2020 මහා මැතිවරණයේ දී ගාල්ලේ වෙරළබඩ කළාපයේ එකම ආසනයකින්වත් (අම්බලන්ගොඩ, රත්ගම, බලපිටිය, හබරාදූව, බෙන්තර හා කරන්දෙණිය) සජබට 18% ඉක්මන ඡන්ද ප්‍රමාණයක් ලැබී නැත. අමු සිංහලෙන් කියන්නේ නම් ගාල්ලේ කරාව සහ සලාගම කුල ඡන්දයක් සජබට තිබුණේම නැති තරම්ය. ශාන් ගේ සජබ ගමණ නිසා ගාල්ලේ ඡන්ද සිතියම වෙනස් විය යුතුය.

ශාන් විජයලාල් සිල්වා

පොහොට්ටුවෙන් ඡන්දය දිනා සජබයට ගිය ගාල්ලේ දෙවැනියා ශාන් ය. පළමුවැනියා චන්දිම වීරක්කොඩි ය. මනාප ලැයිස්තුවේ ඊලඟ ට සිටින හබරාදූවේ දිල්ශාන් ගුණසේකර ට වැඩි උනන්දුවක් නැති නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ පක්ෂ මාරුව තවම අධිකරණයේ නඩු නිමිත්තක් නොවේ.

ගාල්ලේ සජබ දේශපාලනය බලය තිබුණේ ගොවිගමට ය. මනූෂ නානායක්කාර සජිත් ප්‍රේමදාස හැර දමා යාම නිසා දැන් ගයන්න කරුණාතිලක එහි එකම මන්ත්‍රීවරයා ය. පක්ෂයේ ඊලඟ ප්‍රබලම සංවිධායකවරුන් තිදෙනා මඟුලට මරණයට හැමදා සිටින බන්දුලාල් බණ්ඩාරිගොඩ, පියසේන ගමගේ සහ විජේපාල හෙට්ටිආරච්චි ය. දැන් මේ සජබ ප්‍රධාන චරිත හතරට අමතරව ශාන් ද, චන්දිම ද සිටී. බද්දේගම ආනන්ද අබේවික්‍රම හා කනිෂ්ක ලැනරෝල් අතර බද්දේගම බෙදේ නම්, තරඟකරුවන් අටකි.

ලංකා දේශපාලනයේ කුලය තරම් බලවත් සාධකයක් තවත් නැත. 1946 සීමා නිර්ණයේ දී අම්බන්ගොඩ, බලපිටිය ආසන දෙක හැදුණේම කරාව – සලාගම කුල පදනමිනි. සරළව ම, සිල්වා ලා සහ සොයිසා ලා දෙන්නෙකුට පාර්ලිමේන්තු එන්නට ය. රත්ගම හා 1976 දී කරන්දෙණිය ආසනය ඇතිකරන්නේම කුල පදනමිනි. ගොවිගම කුලය පැත්තකට කළ විට, කරාව හා සලාගම කුල දෙක ගාල්ලේ හරි හරියට සිටී. වහුම්පුර කුලයට දැන් ගාල්ලේ නායකයෙකු දැන් නැති තරම්ය. සලාගම කුලයේ මොහාන් සිල්වා බලපිටිය, රත්ගම, හබරාදූව ඡන්ද පදනමට තීරණාත්මක බලපෑමක් කරයි.

කරාව කුලයේ ශාන් විජයලාල් ද සිල්වා ගාල්ලේ දේශපාලන චිත්‍රයට එන්නේ මෙතැනිනි. ගාල්ලේ කරාවේ නායකයින් අතර ශාන් ට දෙවන පෙල විකල්පයක් හෝ විය හැකිවන්නේ අම්බලන්ගොඩ අනුර ප්‍රදීප් හා අරගලයේ දී පියතුමෙකුට යකඩ පොල්ලෙන් ගැසූ පුෂ්පලාල් කුමාරසිංහ ය. කරාව – සලාව නිර්ණායකයට විලියම් සිල්වා හා ආතර් සොයිසා (1947), ඉයන් ද සොයිසා හා විලියම් සිල්වා (1952), ඇම්.පී. ද සොයිසා හා විලියම් ද සිල්වා (1956), 1960 මාර්තු ලක්ෂ්මන් ද සිල්වා (බලපිටිය) හා විලියම් ද සිල්වා (අම්බලන්ගොඩ) උදාහරණය.

අම්බලන්ගොඩ පී. ද ඇස්.කුලරත්න 1960 ජූනි මැතිවරණයෙන් ද, ඇම්.එච්.සද්ධාසේන (1965), අජිත් සිල්වා ගේ මව වූ ඇල්.සී.ද සිල්වා (1970), රයිටර් තිලකසේකර (1977), බුද්ධික කුරුකුලරත්න (1989) සජින් වාස් ගුණවර්ධන (2010) හා ශාන් විජයලාල් ද සිල්වා (2020) කරාව කුලයෙන් පාර්ලිමේන්තු ආවේය.

මනාප ක්‍රමය යටතේ 1989 සිට මේ දක්වාම කරාව කුලයෙන් ගාල්ලෙන් එජාපයට තේරී පත් වූවේ බුද්ධික කුරුකුලරත්න පමණී. 89 ජවිපෙ වෙඩි ප්‍රහාර මැද ඡන්දය කළ අම්බලන්ගොඩ බුද්ධික කරාවේ ඡන්ද ටික තමාට වැටෙන තැනට කළේ ශුර මෙහෙයුමකි. 2010 සජින් වාස් ගුණවර්ධන දිනන්නට මහින්ද රාජපක්ෂගේ බලය ද, යහමින් මුදල් ද තිබුනේ ය. වසර විස්සක් ශාන් ගාල්ල දේශපාලනයේ රැදෙන්නේ මෙවැනි පරිසරයක ය. (එවැනි බලයක් තිබූ අනෙක් පුද්ගලයා මෑතක දී නැසී ගිය විනී කාරියවසම් ය)

මේ තත්වයට ඓතිහාසික වූ හේතුවක් තිබේ. කරාව සහ සලාගම ඡන්ද ඉතිහාසය පුරා වැඩිපුරම වැටුනේ සම සමාජ හා කොමියුනිස්ට් පක්ෂවලට ය. නගර සභාවක පළමු සභාපතිනිය එල්.සී ද සිල්වා (ල.ස.ස.ප. 1969), ශ්‍රීලකොප යේ විනී කාරියවසම් මෙයට උදාහරණ ය. ඉතිහාසය පුරාම කරාව නායකයින් සජබ/එජාපයෙන් ඉදිරිපත් කළ නමුත් මනාප ක්‍රමය යටතේ ඔවුන් දිනා නැත! මාගේ මතකය නිවැරදි නම්, එජාපයේ නන්දිමිත්‍ර ද සොයියා ගෙන් පසුව සලාගම අයෙකු ද මනාපයෙන් පාර්ලිමේන්තු ආවේ නැත!!
මේ සියළු කතා කිවේ, ඊලඟ මහා මැතිවරණයේ ගාල්ලේ මනාප ප්‍රතිඑලය ගැන චිත්‍රයක් මවා ගැනීමට ය.

මෙය දේශපාලන කතාවක් මිස කුල කතාවක් නොවේ. සීමා නිර්ණය ගැන අශෝක පීරිස් අනු කමිටුව සමඟ මාගේ අත්දැකීම නැම්, ජාතිය ආගම තරමටම කුල සාධකය ද, ඡන්ද මැෂින් ය. ලංකාවේ දිස්ත්‍රික්ක නවයක (9) කුලය තීරණාත්මක දේශපාලන සාධකයයි. එයට කොළඹ දිස්ත්‍රික්කය ද ඇතුලත් ය. වහුම්පුර කුලයට ලියාපදිංචි දේශපාලන පක්ෂයක් තිබූ බවත්, එහි සලකුණ පවා එම කුල රස්සාවට සෘජුව බැඳී ඇත.

බුද්ධික කුරුකුලරත්න

1977 දක්වා කේවල ඡන්ද ක්‍රමය යටතේ ගාල්ලේ ආසන 10 න් පහක් ගොවිගම වන විට ආසන පහක් ගොවිගම නොවන කුලයේ ය. සමානුපාතික ක්‍රමයේ දී ආසන 8 ක් ගොවිගම කුලයට ලැබෙන විට ආසන දෙකක් පමණක් ගොවිගම නොවන කුලයට ලැබෙන්නේය. ගාල්ලේ කුල බලපෑමේ පරිමාව පරිනාමය වී ඇත්තේ එලෙසය!

චන්ද්‍රිකා සමයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දුන්නේ ද කුලය අනුවය. අජන්ත සොයිසා, මහින්ද අමරවීර, ලොකු අතුල හා ශාන් විජයලාල් සිල්වා පළමු ලැයිස්තුවේ සිටියේ ය. දෙවැනි ලැයිස්තුවෙන් ශාන් ගේ නම වෙනුවට වී.පුත්‍රසිගාමනී ගේ නම එක් විය.

ගීතා, රමේෂ්, ඉසුරු දොඩංගොඩ, සම්පත් අතුකෝරල, මොහාන් සිල්වා දැන් එක කඳවුරකය. එජාපයේ වජිර අබේවර්ධන හා මනූෂ නානායක්කාර දෙදෙනා ද ඒ කඳවුරේමය. චන්දිම හා ශාන් දැන් ගයන්ත කරුණාතිලක සමඟ අනෙක් කඳවුරේ ය. පොහොට්ටුවට ගාල්ලේ එකම මන්ත්‍රීවරයෙකු හෝ ඉතිරි නොවන්නේ නම් පුදුම විය යුතු ද නැත.

ගාල්ල දිස්ත්‍රික්යේ මේ වසරේ පැවැත්වෙන මහා මැතිවරණයකින් තේරීපත්වන මන්ත්‍රීවරුන් නවය (9) කි. සජබ ජයගන්නා මැතිවරණයක වු ව සජබට බෝනස් ආසනයද ඇතුළුව ආසන හතකරට වඩා ලැබිය නොහැකිය. ගයන්ත, හෙට්ටිආරච්චි, බන්දුලාල්, පියසේන ගමගේ, චන්දිම, අබේවික්‍රම හා ශාන් ඒ අතරින් හතරකි. ඉහළම සම්භාවිතාවය ඇත්තේ ආසන තුන (3) කි. ප්‍රශ්නය ඇත්තේ මෙයින් කැපී යන්නේ කවුද කියන එකය! ඔවුන්ගේ දේශපාලනය නතර වන්නේ කොතැනද කියන එකය!! (මෙම ගණනය ඔබට රුචි නොවේ නම්, ජනතා විමුක්ති පෙරමුණ ගාල්ලේ ලැබෙන ආසන සංඛ්‍යාව ට නිසි බර තබා ඉතිරිය පක්ෂ අනුව බෙදා තමාගේම ගණනයක් කමෙන්ට් කළ හැකිය)

අනෙක් අතට, කුල පදනමට වඩා මුස්ලිම් ඡන්දය ගාල්ලේ දී පක්ෂයකට නොවටින්නේ ද? යන්න ගැන පක්ෂ මාරුකිරීමේ අවසන් තීරණයේ දී වැදගත් වේ.
කුලය මත ම නොවන නමුත්, පක්ෂ මාරුව නිසා කුරුණෑගල, මහනුවර, කොළඹ, ගම්පහ, රත්නපුර, අනුරාධපුර, මාතර දිස්ත්‍රික්කවල ද ඇතිවිය හැකිය. කුල සාධකය මත පක්ෂ මන්ත්‍රී ධූරයක් දිනා ගැනීමටම මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කරන දිස්ත්‍රික්ක නවයකි.

ශාන් විජයලාල් සිල්වා පක්ෂ මාරුවෙන් දිනා ඇත. ජයග්‍රාහකයෙක් ඇති තැන පරාජිතයෙක්ද සිටිය යුතුය. පරදින්නේ කවුද යන්න දකින්නට මහා මැතිවරණය එන තුරුම සිටිය යුතු නැත!

රජිත් කීර්ති තෙන්නකෝන්