කෝප් ගැටළුව විසඳාගන්නට ජනපති පාර්ලිමේන්තුව කල්තැබීමට යයි

දැනට ක්‍රියාත්මක පාර්ලිමේන්තුව තුන්වන සැසිවාරය කල්තැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

පාර්ලිමේන්තු සම්ප්‍රදායානූකූලව පාර්ලිමේන්තුව කල් දැමීමෙන් පසුව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ඇතුළු කාරක සභා අහෝසි වෙයි.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග කෝප් කමිටුව අහොසි වන නිසා මේ වනවිට අර්බුදයට ලක්ව ඇති කෝප් සභාපති ධූරය පිළිබඳ ගැටළුව විසඳා ගැනීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වාර අවසාන කිරීමට සූදානම් වන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරයාට උපරිම වශයෙන් මාස දෙකක කාලයක් සඳහා පාර්ලිමේන්තුව කල් තැබීමට හැක. කල් දැමීම ප්‍රකාශ කරනා අවස්ථාවේදී දී සභාව කැඳවන නව දිනය ප්‍රකාශ කළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තියේ (2) ඡේදයේ දක්වා ඇති විධිවිධාන අනුව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔහුට බලය ඇත.

2020 දී පිහිටුවන ලද වත්මන් පාර්ලිමේන්තුව මේ වන විට සැසිවාර තුනක් පවත්වා ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!