කොළඹ ගොඩනැගිළි පවරා ගැනීම ගැන ඇමති ප්‍රසන්නගෙන් උපදෙස්

නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය මත කොළඹ ඉදිකිරීම් ආරම්භකොට එහෙත් ඉදිකිරීම් අවසන් කොට නොමැතිව අත්හැර දමා ඇති ගොඩනැගිලි සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සදහා අදාළ පාර්ශව සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගියද‍ා පාර්ලිමේන්තුවේදී පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව එම නිර්දේශ කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා දැනුම් දුන්නේය

මෙහිදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පෙන්වා දුන්නේ ඉහළ වානිජ වටිනාකමක් සහිත කොළඹ භූමි ප්‍රදේශකයක ක්‍රිෂ්, හයට් හෝටලය වැනි ඉදිරිකිරීම් අතහැරදමා ඇති ගොඩනැගිලි මගින් විශාල අගතියක් සිදුවන බවයි. එබැවින් මේ පිළිබඳව කඩිනමින් පියවර ගැනීම සිදුකළ යුතු බව කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස මිලදී ගත් ජනතාවගෙන් එම වාරික අයකිරීමේ දී පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් යම් සහනදායි පිළිවෙතක් අනුගමනය කරන ලෙස නිලධාරීන්ට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙහිදී උපදෙස් ලබා දුන්නේය. අධිකාරියේ මූල්‍ය අංශයට හානියක් නොවන ලෙස එම සහනදායි පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන් බව වාර්තා වේ.

සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය සදහා යොදාගත හැකි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අදාළ ආයෝජකයන්ට නෛතික රාමුව තුළ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *