කොවිඩ් වලින් පසු පළමු චීන සංචාරක පිරිස දිවයිනට

කොවිඩ් ගෝලීය වසංගත තත්ත්වයෙන් පසු චීනයේ ගුවැන්ශෝ හි සිට පැමිණි පළමු චීන ජාතික සංචාරකයන් පිරිස රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානය ඊයේ (01) කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එම චීන සංචාරකයන් 177 දෙනා පිළිගැනීම සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චන්ග් හොන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අද පටන් යළි ඇරඹෙන චීන ශ්‍රි ලංකා මිතුදම ලාංකේය සංචාරක කර්මාන්තයේ තවත් ඉදිරි පියවරක් තබනු ඇති බවට අපේක්ෂා කරන අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,

“අවුරුදු 3කට පස්සේ කොවිඩ් -19 වසංගතයත් සමඟ චීනයේ සංචාරකයින් ට තහනමක් තිබුණා පිටරටවල්වලට යෑමට. අද පළමු වතාවට විශේෂ ගුවන් යානයක් සම්බන්ධ වුණේ. නමුත් අප්‍රේල් 4 වෙනිදා සිට සතියට වාර 9ක් බැගින් නගර තුනකට ෂැංහැයි, බීජිං සහ ගොන්ෂු කියන නගරවලට ශ්‍රී ලන්කන් සහ චයිනා ඊස්ටන් ගුවන් යානා ලංකාවට පැමිණෙනවා”

“ලොකු විශ්වාසයක් තියෙනවා ලංකාවේ සංචාරක කර්මාන්තය ගොඩදාන්න පුළුවන්. චීනය කියන්නේ ලෝකයේ වැඩිම ජනගහණයක් ඉන්න රට. ඒකෙන් 1%ක් ආවත් අපේ ප්‍රශ්න විසඳන්න පුළුවන්.”

මේ වසරේ ගත වූ මාස දෙක තුළ සංචාරකයින්ගේ පැමිණීම ද සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර 210,184 දෙනෙකු එම කාලය තුළ දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *