කන්ටේනරයක සැඟවී රටින් පැන්න ලාංකිකයන් දෙදෙනා චීනය පිටුවහල් කරයි.

කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ නෞකාවක හිස් කන්ටේනරයක සැඟවී මැලේසියාවට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වසරකට පසු චීනයෙන් පිටුවහල් කර තිබේ.

එම පුද්ගලයන් දෙදෙනා පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වෙළෙඳ හා ජාවාරම් විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2023 ජනවාරි 30 වැනිදා කොළඹ වරායේ CICT ජැටියේ නැංගුරම් ලා තිබූ ‘MV Merks Unicorn’ නෞකාවේ පටවා තිබූ හිස් කන්ටේනරයකට ඇතුළු වූ මෙම තරුණයන් දෙදෙනා එම නෞකවෙන් මැලේසියාව බලා පිටත්ව ගොස් ඇත.

නෞකාව මැලේසියාවට පැමිණීමෙන් පසු ඔවුන් දෙදෙනාට එරටට ඇතුළුවීමට ඉඩදීම මැලේසියානු රජය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

මේ අනුව, නෞකාව සමග තවත් රටවල් ගණනාවකට රැගෙන ගිය මෙම දෙදෙනා අවසානයේ චීනයට ළඟා වීමෙන් අනතුරුව එරට බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!