ඕස්ට්‍රේලියාවට, කොරියාවට ලංකාවෙන් කරවල

නව තාක්ෂණය භාවිතයෙන් වේලෙන ලද කරවල හා උම්බලකඩ කිලෝ ග්‍රෑම් 10,000ක් සහිත කන්ටේනරයක් ඔස්ට්‍රේලියාවට හා කොරියාවට අපනයනය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.

ලංකාව තුළ නිෂ්පාදනය කළ කරවල හා උම්බලකඩ ඕස්ට්‍රේලියාවට හා කොරියාවට අපනයනය කරන පළමු අවස්ථාව මෙයයි. පහජ්ජාව මෙගාෆිෂ් කරවල හා උම්බලකඩ නිෂ්පාදන ආයතන විසින් මෙම අපනයනයන් සිදුකර ඇත.

සාම්ප්‍රදායික කරවල නිෂ්පාදනයේ දී හිරු එළියේ යොදා ගනිමින් වේලීම සිදුකරන නමුත් නව තාක්ෂණය යටතේ කරවලා හා උම්බලකඩ සෑදීම වායු සමීකරණ පද්ධතියෙන් ආශ්‍රිතව විජලනය කරමින් (air condition dehydration) සිදු කරයි.

ඉතා ආරක්ෂිත මෙන්ම සෞඛ්‍ය සම්පන්න ක්‍රම යොදමින් සිදු කරන මෙම කරවලා හා උම්බලකඩ නිෂ්පාදනය මිනිස් පරිභෝජනයට වඩාත් උචිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කරවල වියලීමට law salt ලුණු යොදාගන්නා අතර මාළු වල තෙල් ඉවත් නොවීම වැනි කරුණු හේතුවෙන් නව තාක්ෂණය මඟින් වේලන කරවල ගුණාත්මයෙන් ඉහළ මට්ටමක පවතී. මෙලෙස නිෂ්පාදිත කරවලා හා උම්බලකඩ කන්ටේනරය අපනයනය කරන අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!