ඔව්…. ගැබ්ගෙළ පිළිකාව පහසුවෙන් වලකා ගන්න පුළුවන්

විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී රාජපක්ෂ

ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ ගර්භාශය සහ යෝනි මාර්ගය සම්බන්ධකරනා කොටස ගැබ්ගෙළ ලෙස හැඳින්වෙන අතර මාසික ඔසප් වීමේදී ඔසප් රුධිරය ශරීරයෙන් පිට කිරීමටත් සංසර්ගයේදී ශුක්‍රානු ගර්භාෂය දෙසට යැවීමටත් ගැබ්ගෙල උපකාර වෙයි. මෙම කොටසේ ඇතිවන පිළිකාව ගැබ්ගෙළ පිළිකාව ලෙස හැඳින්වෙයි. සුරූපී ඉන්දීය නිරූපිකාවක වන පූනාම් පාණ්ඩේ ගැබ්ගෙළ පිළිකාවකින් මියගිය පුවතත් ඉන් දින කිහිපයකට පසු ඒ පුවත සාවධ්‍ය බවටත් සමාජ මාධ්‍යයේ හුවමාරු වූ පුවත් නිසා, ගැබ්ගෙළ පිළිකාව පිළිබඳ ලෝකයේ අවධානය යොමුවිය. සැබැවින්ම පූනාම්ගේ ”ව්‍යාජ මරණය” පිළිබඳ පුවත් නිර්මාණය කිරීමේ අරමුණ වූයේද එයම බව පසුව අනාවරණය විය. පහත පලවනුයේ ප්‍රසව හා නාරිවේදය විෂයෙහී ප්‍රාමාණිකයෙකුවන විශේෂඥ වෛද්‍ය ආර්.එන්. ජේ රාජපක්ෂ සමග ගැබ්ගෙළ පිළිකාව් පිළිබඳ පැවැත්වූ සාකච්චාවකි.

වෛද්‍යතුමනි, අප මේ සාකච්චාව ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වය පිළිබඳ කෙටි හැඳින්වීමකින් අරඹමු .

ඔව්. කාන්තාවන්ට ඇතිවන පිළිකා තත්ත්ව කිහිපයක් අද වන විට අපට හඳුනා ගන්නට පුළුවන්. ඒ අතරින් පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා කාන්තාවන්ට අති විශේෂයි. මේ අතරිනුත් ගැබ්ගෙල පිළිකා කියන්නේ, ඉතා විශේෂ පිළිකා වර්ගයක්.

ඇයි ගැබ්ගෙළ පිළිකා විශේෂ බව ඔබ කියන්නේ

ගැබ්ගෙල පිළිකා මූලික අවධියේදීම එසේත් නැතිනම් කල් තියා හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවා. මේ විදියට කල් තියා හඳුනා ගැනීමෙන් මෙය වළක්වා ගැනීමටත්, සුව කර ගැනීමටත් හැකියාව තිබෙනවා.

මෙම පිළිකා විශේෂය හඳුනාගැනීමට ඇති වඩාත් ප්‍රචලිතම ක්‍රමය කුමක්ද

පැප් පරීක්ෂණයක් මගින් කල්තබා මෙම පිළිකාව හඳුනාගත හැකියි.

පැප් පරීක්ෂණය

පැප් පරීක්ෂණයකින් ආසාදිත කාන්තාවක් හඳුනාගන්නේ කෙසේද

පවුල් සෞඛ්‍ය සේවයෙන් විමසීමකින් අනතුරුව එම පර්යේෂණයට සහභාගී වීමට සෑම කාන්තාවකටම හැකියාවක් පවතිනවා. සමාජයේ මේ පර්යේෂණය සිදු කිරීමට බොහෝ කාන්තාවන් තුළ බියක් පවතිනවා. නමුත් එය එසේ බිය විය යුතු කරුණක් නොවෙයි. මෙම පර්යේෂණය සෑම කාන්තාවකටම ඔවුන්ගේ මාසික ඔසප් වීමේ දිනවලදී හැර ඕනෑම දිනකදී සිදු කර ගැනීමට හැකියාවක් තිබෙනවා. මෙහිදී ඔවුන් මූලික පරීක්ෂා කිරීමකින් අනතුරුව කුඩා මළ නොබැදෙන වානේ උපකරණයක් (spaculum) යෝනි මාර්ගයෙන් ඇතුළු කර ගැබ්ගෙල විවර කර ගැනීමක් සිදු කරනවා. ඉන්පසු පුළුන්වලින් සාදන ලද කූරක් මාර්ගයෙන් ගැබ්ගෙල පිස දැමීමකින් අනතුරුව එම සෛල නියැදිය කදාවක් මතට ගැනීමක් සිදු වනවා. ඉන්පසු එම සෛල නියැදිය ගෙන අන්වීක්ෂයකට යොදා පරීක්ෂා කිරීමක් සිදු කරනවා. එයින් පසුව පූර්ව පිළිකා සෛල හඳුනා ගැනීමට පුළුවන්. මෙහි ආසාදන තත්ත්වයක් තිබේ නම්, එම කාන්තාව දැනුවත් කිරීමක් සිදු කරනවා. අද වන විට රජයේ රෝහල්වල වගේම පෞද්ගලික රෝහල්වලදීත් ඕනෑම කාන්තාවකට ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයකු හමු වී මෙම පර්යේෂණය සිදු කර ගැනීමට හැකියි.

පිළිකාවක් බව සැක සහිත කාන්තාවක් ඉන්පසු කළ යුත්තේ කුමක්ද.

පැප් පරීක්ෂණයෙන් සැක සහිතයි කියලා හඳුන ගත්තොත් අපි ඇය බයොප්සි (biopsy) පර්යේෂණයකට යොමු කරනවා. බයොප්සි පර්යේෂණයකදී ආසාදනය වී ඇති බවට සැක සහිත කොටසක් ලබාගෙන එය පටක පර්යේෂණයකට යැවීමක් සිදුකරන අතර පටක පර්යේෂණයේදී අපට එය පිළිකාවක්වක්ද ද නැතිද යන්න සොයා ගන්නට පුළුවන්.

කොල්පොස්කොපි (Colposcopy) පර්යේෂණය

මේ සම්බන්ධ වෙනත් පරීක්ෂණ මොනවාද

මීට අමතරව කොල්පොස්කොපි (Colposcopy) පර්යේෂණයක් සිදු කිරීමටත් පුළුවන්. මේ පර්යේෂණයේදී සිදු කරන්නේ පැප් පරේෂණයෙන් CIN ( Cervical intraepithelial neoplasia ) තත්ත්වයේ ඉන්න රෝගීන්ට. එහිදී කැමරාවක් යෝනි මාර්ගය තුළට යවලා එයින් ගැබ්ගෙළේ චායාරූපයක් විශාල තිරයකට ලබා ගැනීම සිදුකරනවා . මූලිකව මෙහිදී ගැබ්ගෙල ප්‍රදේශයට ඇසිටික් අම්ලය විහිදුවා හැරීමක් සිදු කරනවා. මෙහිදී ඇසිටික් අම්ලය සහිත CIN තත්ත්වයේ සෛල සුදු පැහැවීමක් සිදුවෙනවා. ඒ ආකාරයට හඳුනා ගැනීමෙන් පසුව එම සුදු පැහැවූ සෛල කොටස් අපි ඉවත් කිරීමක් සිදුකරනවා නැත්නම් පිලිස්සීමකට ලක් කරනවා. මේ විදියට මූලික අවධියේම අපිට පුළුවන් රෝගී තත්ත්වය වළක්වා ගැනීමට.

ගැබ්ගෙළ පිළිකාව සම්බන්ධව තව දුරටත් කරුණු දැක්වුවහොත්

මේ පිළිකාව ගැන තවදුරටත් කතා කළොත් වෛරසයක් මගින් මෙය හටගෙන ව්‍යාප්තවීම සිදුවෙනවා. Human papilloma virus (HPV) නමැති වෛරසය මෙහි රෝග කාරකය විදියට අපි හදුනා ගන්නවා. මෙම වෛරසයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ කතා කළොත් මෙය මූලිකව ගැබ්ගෙලට ඇතුළු වී ආසාදනය වීම සිදුවෙනවා. මෙම වෛරසය මූලිකව සම්ප්‍රේෂණය වන්නේ, ලිංගික සබඳතාවයන්ගෙන්.

වෛරසය සම්ප්‍රේෂණයෙන් පසු ගැබ්ගෙලෙහි යම් යම් වෙනස්කම් ඇති කිරීමට පටන් ගන්නවා. මෙම තත්ත්වය අපි හඳුන්වනවා CIN (Cervical intraepithelial neoplasia) කියලා. මේ CIN කියන වෙනස්කම් ගැබ්ගෙලෙහි පවතිනවා නම්, මේවා පිළිකා තත්ත්වයට පත්වීමට වසර 4 ක්- 5ක් ගත වෙනවා.

මේ CIN කියන රෝගී කාන්තවක් සම්බන්ධ තව දුරටත් පැහැදිළි කරනවානම්

ගැබ්ගෙල ආශ්‍රිතව එම ආකාරයට පිළිකා සෛල හමුවුණොත් තරුණ රෝගීන්ගේ ගැබ්ගෙල කපා ඉවත් කිරීමක් සිදුකරනවා. නැතිනම් විදුලිය මගින් පිලිස්සීමකට ලක් කරනවා. බොහෝ දුරට වැඩිමහල් කාන්තාවකගේ නම් ගර්භාෂයම ඉවත් කිරීමක් සිදු කළ හැකියි.

පැප් පරීක්ෂණයක ප්‍රතිඵලය කෙතරම් කාලයක් වලංගුද.

සෑම කාන්තාවක්ම වසර තුනකට වතාවක් පර්යේෂණය සිදු කිරීමට අත්‍යවශ්‍යයි. මොකද මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගී තත්ත්වයක් වන නිසා වැඩිහිටි කාන්තාවන්ට සාපේක්ෂව තරුණියන් අතර මෙම රෝගී තත්ත්වය බහුලව දැකගන්නට පුළුවන්. ඒ වගේම මෙම රෝග තත්ත්වය ඉහළ ලිංගික ක්‍රියාකාරීත්වයක් සහිත පුද්ගල පිරිස් අතරද දැක ගන්නට පුළුවන්.

ගැබ්ගෙල පිළිකාවේ රෝග ලක්ෂණ ගැන තව දුරටත් පැහැදිළි කළහොත්.

මෙහි රෝග ලක්ෂණ තමයි සාමාන්‍ය ඔසප් වීම් දෙකක් අතරතුර අසාමාන්‍ය රුධිර වහනයක් ඇතිවීම. බොහෝ විට මේවා ස්වල්ප වශයෙන් බිංදු බිංදු ලෙස මාසය පුරාම නැතිනම්, මාසයට කිහිප වතාවක් ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ලිංගික එකතුවීමකට පසුව මෙවැනි තත්ත්වයන් තරුණ කාන්තාවන්ට ඇති වුණොත් වෛද්‍ය පර්යේෂණයට භාජනය වීම වඩාත් සුදුසුයි. මෙවැනි පර්යේෂණයකදී ගැබ්ගෙලෙහි යම් ආකාරයක පිළිකා ලක්ෂණ, උදාහරණයක් විදියට ගෙඩියක් වගේ ගැටිත්තක් හෝ මස් දල්ලක් හෝ පිටතින් නෙරීමක්, තුවාලයක් එහෙමත් නැතිනම් ගැබ්ගෙල සාමාන්‍ය ස්වභාවයෙන් තොර රෝගී ස්වභාවයෙන් අවර්ණ, දුර්වර්ණ වී දැකගැනීමට හැකි වුණොත් අපිට සැක කරන්නට පුළුවන් මෙය පිළිකාවක් වෙන්නට පුළුවන් බව.

ගැබ් ගෙළ පිළිකා රෝගී තත්ත්වයෙන් සුව අතට පත් වීමට ඇති ප්‍රතිකාර මොනවාද

මා කලින් සඳහන් කළා වගේ පිළිකාව පැතිරුණු ප්‍රමාණය අනුව ප්‍රතිකාරය වෙනස් වෙනවා. මෙම පිළිකා කිහිප ආකාරයකින් දක්වන්න පුළුවන්. සමහර පිළිකා ගැබ්ගෙලේ ඇතුල් ප්‍රදේශයේ පමණක් දැක ගන්නට පුළුවන්. සමහර පිළිකා තත්වයන් යෝනි මාර්ගයේ උඩ කොටසටත් ආසාදනය සිදුවෙනවා. සමහර පිළිකා යෝනි මාර්ගයෙනුත් පිටතට ව්‍යාප්ත වෙලා ශ්‍රෝනියේ බිත්ති තෙක්ම ව්‍යාප්ත වෙනවා. සමහර පිළිකා තත්ත්වයන් ශරීරයේ ඉහළ බඩ ප්‍රදේශයටත් පැතිරුණු අවස්ථාවන් දකින්නට පුළුවන්.

ප්‍රතිකාර ක්‍රම තව දුරටත් විස්තර කළ හොත්

මේ එක එකක් තත්වයන්ට තිබෙන ප්‍රතිකාර එකින් එක වෙනස්. මුල් අවදියේ පිළිකා තත්ත්වයන්ට ප්‍රතිකාර කරන ආකාර දෙකක් තිබෙනවා. එක් ප්‍රතිකාරයක් විදියට වයස 35ට වඩා වැඩිමහල් කාන්තාවක් නම්, දරුවන් සිටින කාන්තාවක් නම්, අපිට පුළුවන් ගර්භාෂය, ඩිම්බකෝෂ, වසාගැටිති සියල්ල ඉවත් කිරීමකින් ඔවුන්ව සුව අතට පත් කරන්නට. ඉවත් කළ තුවාල සුවවීමෙන් පසුව ඔවුන්ට රේඩියම් ප්‍රතිකාර ලබාදීමක් සිදුකරනවා. එහෙමත් නැත්නම් දරුවන් බලාපොරොත්තුවෙන් සිටින තරුණ වයසේ පසුවන කාන්තාවන්ට නම් හෝ ගර්භාෂය ඉවත් කිරීමට අකැමැත්තක් දක්වන්නේ නම්, ඔවුන්ට සෘජුවම රේඩියම් ප්‍රතිකාර (radium therapy) ලබාදීමක් සිදුකරනවා. ඒ වගේම මෙම පිළිකාව දරුණු තත්ත්වයෙන් පැතිරුණු කෙනෙක් නම්, ඔවුන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් වසර පහකදී ජීවිතක්ෂයට පත්වන්නට පුළුවන්. එවැනි රෝගීන් ජීවත් වීමේ ප්‍රතිශතය 30%ක් පමණ වනවා. පිළිගත් තත්ත්වයෙහි මූලිකම අවස්ථාවේදී ප්‍රතිකාර සිදුකිරීමෙන් රෝගීන්ගෙන් 90%ක් සුව කර ගැනීමේ හැකියාවක් පවතිනවා. රෝගය උත්සන්නම අවස්ථාවේදී පසුවන රෝගීන්ගෙන් නිසියාකාර ප්‍රතිකාර ලබාදීමෙන් 60% සුව කිරීමේ හැකියාවක් පවතිනවා.

ගැඹුරුම අවස්ථාවකට පැමිණ ප්‍රතිකාර ලබා නොගන්නා පුද්ගලයින්ගෙන් ජීවත් කිරීමේ හැකියාව ලබාගන්නේ, 19%ක ප්‍රමාණයක් පමණයි.

ගැබ් ගෙළ පිළිකා සඳහා ලබාදෙන HPV එන්නත යනු කුමක්ද.

ශරීරයේ human papilloma virus එක ඇති නොවෙන්න තමයි මෙම එන්නත්කරණය සිදු කරන්නෙ. මෙම එන්නත සාමාන්‍යයෙන් ලබා දෙන්නේ අවුරුදු 09ත්-10ත් අතර ගැහැණු දරුවන්ටයි. අවුරුදු 15ට වැඩි ළමුන්ට එන්නත් මාත්‍රා තුනක් ලබාදීම මාස හයෙන් හයට සිදුවනවා. (Course of six months)

මෙහි වැඩි ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වන්නේ, අවුරුදු 12-13 තරම් කුඩා වයසකදී මෙය ලබාදීමෙන්. ඒ වගේම එහි වැඩි වාසි ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වන්නේ, වැඩිහිටි වයසට සාපේක්ෂව කුඩා වයසක පසුවන දරුවන්ට එන්නත් ලබා දීමෙන්.

මෙම පිළිකා තත්ත්වය වළක්වා ගත හැකි ක්‍රම මොනවාද.

මූලිකවම අනාරක්ෂිත ලිංගික එක්වීම්වලින් වැළකීම, ලිංගික එක්වීමකදී condom භාවිතා කිරීම වැනි කාරණා පෙන්වා දෙන්නට පුළුවන්. ඒවගේම බහු පුරුෂ සේවනය වැනි ක්‍රියාවන් තුළින් වැළකී සිටීම, අනියම් සම්බන්ධතාවයන්ගෙන් වැළකී සිටීම මගින් පිළිකා තත්ත්වය වළක්වා ගැනීමට හැකියි.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!