ඊශ්‍රායලයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චෝදනා

ගාසා තීරයේ සහ තවත් බටහිර ඉවුරේ රෝහල් මෙන්ම අනෙකුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය යටිතල පහසුකම්වලට පසුගිය ඔක්තෝම්බර් හත්වෙනිදා සිට මේ දක්වා 600 වතාවක් පමණ ඊශ්‍රායල් හමුදා විසින් ප්‍රහාර එල්ල කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

මෙම ප්‍රහාරවලින් වෛද්‍ය පහසුකම් මධ්‍යස්ථාන තුළදී පුද්ගලයින් 613ක් මියගොස් ඇත. 770 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය. මියගිය 613 දෙනාගෙන් 606 දෙනෙකු ගාසා තීරයේදී මියගොස් ඇති අතර අනෙකුත් පුද්ගලයින් 07 දෙනා මියගොස් ඇත්තේ බටහිර ඉවුරේදී බව වාර්තා වේ.

ගාසා තීරයෙහි රෝහල් හා අනෙකුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය පහසුකම්වලට පසුගිය ඔක්තෝබර් 07 සිට මේ දක්වා ප්‍රහාර 304ක් එල්ල වී ඇති බවත්, බටහිර ඉවුරට ප්‍රහාර 284ක් එල්ල වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ යුද්ධය ඇරඹී 14 වන සතිය ගතවන විට ගාසා තීරයේ ළමයින්ගේ ජීවිතවලට මාරක තර්ජන 03ක් එල්ල වී ඇති බවය. ළමුන්ගේ රෝග වැළඳීමේ අවධානම ඉහළ ගොස් ඇති අතර ඔවුන්ගේ පෝෂණ තත්වය පහළ වැටී ඇති බව එම සංවිධානය පවසයි. එලෙසම ළමුන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියාද ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් පෙන්වා දුන්නේය.

මීට අමතරව යුනිසෙෆ් සංවිධානය පසුගිය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේ ගාසා තීරයේ ළමුන් සෑම දිනකම නරක අතට හැරෙන බියකරු සිහිනයකට හසුවී සිටින බවයි.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!