ඇමෙරිකාවේ Heart to Heart වෙතින් යළිත් රු කෝටි 21 ක ඖෂධ පරිත්‍යාගයක්.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහගේ ඉල්ලීම හා මැදිහත්වීම මත ඇමෙරිකාවේ Heart to Heart international (HHI) ආයතනය විසින් ශ්‍රී ලංකාවට සපයන ආධාර තවදුරටත් ක්‍රියාත්මක කරමින්, 09 වන වරටත් හදිසි ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබේ.

තානාපති මහින්දගේ ඉල්ලීමට මෙතෙක් රු කෝටි 1600 ක ඖෂධ

මෙවර පරිත්‍යාගයේ වටිනාකම රු 21 කෝටි 33 ලක්ෂයක එනම් ඩොලර් 644,000 දහසකට අධිකය. මෙම ඖෂධ අතර අධි රුධිර පීඩනය සඳහා භාවිතා කරනු ලබන Amlodipine besylate සහ වකුගඩු, අග්න්‍යාශය, මොළය සහ පියයුරු පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරන Everolimus වැනි ඖෂධ ඇතුළත් වේ. ඒවා ඇමෙරිකාවේ නිෂ්පාදිත ඉහළ ප්‍රමිතියෙන් යුතු මිල අධික ඖෂධ වේ.

මෙම අඛණ්ඩ පරිත්‍යාග වෙනුවෙන් Heart to Heart වෙත වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ප්‍රමුඛ තානාපති අංශ දැඩි ස්තුතිය පළ කළහ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වොෂින්ටන් තානාපති කාර්යාලය මගින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලද මෙම පරිත්‍යාගය මෙම දෙසැම්බර් අග වන විට ගුවනින් කොළඹට ලඟාවීමට කටයුතු යොදා ඇත.

ඇමති රමේශ් යටතේ ලැබුණු දෙවන පරිත්‍යාගය.

පෙර අවස්ථාවල මෙන්ම Heart to Heart විසින් ප්‍රවාහනය ද ඇතුළු සියළු වියදම් දරන පසුබිමක් නිර්මාණය කරගැනීමට තානාපතිවරයා ක්‍රියාකොට තිබේ. ඇමති රමේශ් පතිරණ යටතේ ලංකාවට ලැබුණු දෙවන තොගය මෙය වන අතර මීට සති 03 කට පෙර තවත් තොගයක් ලංකාවට යැවිණ මෙම ඖෂධ ශ්‍රී ලංකාව තුළ නොමිලේ බෙදා හැරීම සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා සිදුවීමට නියමිතය.

මේ දක්වා Heart to Heart International විසින් ශ්‍රී ලංකාව වෙත සපයන ලද ඖෂධ වල වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් මිලියන හතළිස් හය ලක්ෂයකට එනම් රු කෝටි 1600) ආසන්න වේ.

ඇමෙරිකාවේ කන්සාස් ප්‍රාන්තයේ ලෙනෙක්සා නගරයේ මූලස්ථානය කරගත් Heart to Heart International (HHI) , ලොව සෞඛ්‍යය පහසුකම් දියුණු කිරීමට කැපවන ගෝලීය සංවිධානයකි. 1992 එහි ආරම්භයේ සිට, HHI ආයතනය ඇමෙරිකාව ඇතුළු රටවල් 130 කට ඩොලර් බිලියන 2.8 ක් වටිනා වෛද්‍ය ආධාර සහ සැපයුම් ලබා දී ඇත. වෛද්‍ය සහන සැපයීමෙන් සහ ස්වේච්ඡා සේවකයන් බලමුලු ගැන්වීමෙන් HHI ආයතනය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ලෝකයේ ස්වභාවික විපත්වලට ද ප්‍රතිචාර දක්වනු ලබයි. මෙම සංවිධානය තරු 04 පුණ්‍යායතනයක් මෙන්ම BBB ප්‍රතීතනය ලත් පුණ්‍යායතනයක්ද වන අතර එය “Philanthropy 400” යටතේද නම්කර තිබේ.

අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට…

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!