ඇමරිකාව නොමිලේ දුන්න බෙහෙත් සඳහා ලංකාවෙන් අනුමැතිය ගන්න පුදුම දුකක් වින්දා

ඕස්ට්‍රෙලියාවේ හා ස්විස්ටර්ලන්තයේ හි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු නිමවා1988 පළාත් සභා මැතිවරණයෙන් දේශපාලනයට පැමිණි මහින්ද සමරසිංහ අනතුරුව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂ ප්‍රධාන සංවිධායකකම් හා කැබිනට් ඇමතිධූර 05 ක් ඇතුළු ඇමතිධුර 07 ක් දැරුවේය. රටවල් 168 කට අදාළ අන්තර් පාර්ලිමේන්තු සංවිධානයේ මානව හිමිකම් කමිටුවේ ඡන්දයෙන් පත්වූ සභාපති ලෙස ද රටට ගෞරව ගෙනා ඔහුගේ ඇමෙරිකානු තානාපතිකම හරහා කල කී දේ නව වසරේ උදාවේ අපි කතා බහ කරමු.

ඇමෙරිකානු තානාපති භූමිකාව තුළ කලකී දේ ගැන සෑහීමකට පත් වෙනවාද.

ඔව්.දේශපාලනයට වඩා රටට වැඩි සේවයක් කරන්න මම පාර කපා ගත්තා.

මොකද්ද ඔබ අලුතෙන් කපා ගත්ත පාර

මගේ ජාත්‍යන්තර අත්දැකීම් හා සබඳතා ඊට මුල් වුණා. පහුගිය ඡන්දෙන් දිනලත් වසර 30 ක මගේ අත්දැකීම් වලින් පාළකයො වැඩ ගත්තෙ නෑ. හිටපු ජනපති ගෝටාභය මට ආරාධනා කළා මේ තානාපතිකමට. ලෝකයේ බලවත්ම රටේ ලංකාවෙ නියෝජිතයා ලෙස විශාල සේවයක් කලහැකි නිසා මම වැඩේ බාරගත්තා. හිතුවටත් වඩා වැඩි දෙයක් මම කලා.

කඩා වැටුණු ලංකා ආර්ථිකය නගා හිටුවන්න ඔබ දැක්වූ දායකත්වය කුමක්ද

මම උසස් අධ්‍යාපනය ලැබුවෙ හා වෘත්තියෙන් ආර්ථික ක්ෂ්‍රේත්‍රයේ අත්දැකීම් ඇති කෙනෙක්. ඒ මත පදනම්වයි මම ඇමෙරිකාවෙදි ක්‍රියා කළේ. ලංකාවට ආර්ථික ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් ලබන්න නම් IMF වැනි ලොව පිළිගත් සංවිධාන සමග වැඩ කළ යුතු වෙනවා. හිටපු ජනපතිගෙ උපදෙස් මත එහි ප්‍රධානි එක්ක මම කතා කරල ලංකාවට ඇති අභියෝග පැහැදිලි කලා. IMF නියෝජිතයන් දෙන්නෙක් ලංකාවට ගිහින් හිටපු ජනපති එක්ක කතාකලා. ඒ දෙන්නගෙන් කෙනෙක් අද ද: කොරියාවෙ මහබැංකු අධිපතියි.
දින 2 – 3කින් IMF වැඩේට සූදානම් බව හිටපු ජනපති IMF ට කිව්වා. ඒ වගේම ලංකාව තුළ දේශපාලනික තීන්දු ගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කැපවුණේ නැතිනම් IMF මූල්‍ය සහාය හා පිලිගැනීම ලංකාවට ලැබෙන්නෙම නෑ.

ඔබේ මැදිහත්වීමෙන් වෛද්‍ය හා සෙසු ක්ෂ්‍රේත්‍ර හරහා ලංකාවට ලබාදුන් ප්‍රතිලාභ මොනවාද

ඩොලර් නැතිවීමෙන් ලංකාවේ විශාල බෙහෙක් හිඟයක් ආවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විදේශ අමාත්‍යාංශය හරහා තානාපතිල දැනුවත් කළා ආධාර ලෙස බෙහෙත් ලබා දෙන්න කියලා. බෙහෙත් ලැයිස්තුත් එවා තිබුණා.

මම ඇමෙරිකාවේ ආයතන ප්‍රධානීන්ට හා මට සබඳතා ඇති අයට කරුණු පැහැදිලි කළා . ලංකාවට නොමිලේ බෙහෙත් දෙන්න ආයතන කිහිපයක් කැමති කර ගත්තා. කෙටි කාලයකින් ඩොලර් මිලි 53 ක ( රු කෝටි 1725 ) බෙහෙත් ලංකාවට යැවීමට හැකිවීම ගැන මම ඇතුළු වොෂින්ටන් එම්බසිය ආඩම්බර වෙනවා. පිළිකා හෘද මොළය ඇතුළු රෝග සදහා මිල අධිකම ඉහළම ප්‍රමිතියේ බෙහෙත් අපි යැවිවෙ. ප්‍රවාහන වියදම පවා ඇමෙරිකාවෙන් ලබා ගන්න අපට හැකිවුණා.

ඔබේ මේ කටයුත්ත ලංකාවේ ඖෂධ මාfපියාවට හිසරදයක්. අභියෝග ආවෙ නැද්ද .

ඇමෙරිකාවෙන් නොමිලේ බෙහෙත් හොයනවට වඩා අමාරු වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්ම එවපු ලැයිස්තු වලට හොයපු බේත් වලට අනුමැතිය ගැනීමයි. මට ජනාධිපතිට පවා කීප වරක් කතා කරන්න වුණා. අවංක නිලධාරීන් උදව් කළා .

බෙහෙත් වැඩිපුර එවන්නේ ඉන් ඔබටත් පුතිලාභ ලැබෙන නිසාද….නැතහොත් ඇමෙරිකානු ඖෂධ පරීක්ෂණ වල මීයන් බවට ලංකාවෙ අය පත් කරගෙන නිසාද.

නොමිලේ දෙන බෙහෙත් වලට මොන ලෝකෙ ද කොමිස් දෙන්නේ. මිලදී ගන්නව නම් නේ දෙනව නම් කොමිස් දෙන්නේ….ලෝකයේම භාවිතා කරන ඉහළම බෙහෙත් අපි ඇමෙරිකාවෙන් එවිවේ. ඒවා සමහර රටවල වගේ පැදුරු වල දාල අව්වෙ වේලන බාල බෙහෙත් නෙවෙයි.

ඖෂධ වලට අමතර සහායක් ඇමෙරිකාවෙන් ලංකාවට ලබා ගන්න බැරි වුණාද

US Aid එකෙන් ඩොලර් මිලියන 300 (රු කෝටි 9990) ක පමණ උදව් පසුගිය වසර 1 1/ 2 දි ලංකාවට ලැබුණා. මහ කන්නයට පොහොර ගත්තෙ ඒ හරහායි. DFC ආයතනය ඩොලර් බිලියනයක ( රු කෝටි තිස් දෙදහස් තුන්සියයක) විශාල මුල්‍ය පහසුකමක් ලංකාවට දුන්නා. කොළඔ බටහිර ජැටියට දුන් ඩො මිලි 553 ත් ඊට ඇතුලත්. ඒ ප්‍රධානියා එක්ක තව ආයෝජන රැසක් ලංකාවට ගේන්න කතා කරගෙන යනවා. තව ඇමෙරිකානු ආයතන හා සංවිධාන වලින් ලංකාවට විශාල උදව් ලබා දෙන්න අපි මැදිහත් වුණා.

ඔබ හැම ආණ්ඩුවකම ඇමති, මන්ත්‍රී, තානාපති. එහෙම වෙන්නෙ කොහොමද.

1987 පළාත් සභා හා 94 ඉඳලා මම පාර්ලිමේන්තුවේ ඉන්නවා. ජනතාවයි මාව ගෙනාවේ. ඒ අතරෙ මගේ හැකියාවන් අදුනගත් සමහර නායකයින් හා සමහර ආණ්ඩු මගෙන් රටට වැඩ ගන්නවා. මට ඒ ගැන සතුටුයි.

මෙය මැතිවරණ වසරක්. ඔබ යළිත් දේශපාලනයට එනවාද

දේශපාලනයට වඩා වැඩි සේවයක් මෙවැනි තනතුරකින් කළ හැකියි. මම එය ඔප්පු කළ බව හුග දෙනෙක් කියනවා. එම සේවය තවදුරටත් රටට කරන්න මම සූදානම්. ඇමෙරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබදතා වඩාත් ගොඩනැගු නිසයි බොහෝ උදව් අද ලැබෙන්නේ. මෙක්සිකෝවෙත් වෙළෙඳ කටයුතු සඳහා ගිවිසුමක් අත්සන් කළා.

අසරණ වෙලා ඉන්න කළුතර දිසාව ඇතුළු ලංකාවේ ජනතාවට 2024 ට ලබා දෙන පණිවිඩය….

ඉවසීම නීති ගරුකවීම එකමුතුකම රට වෙනුවෙන් කැපවීම හා නාස්තිය දූෂණය පිටුදැකීම නව වසරේ අධිෂ්ඨානය කරගනිමු. දියුණු රටවල් එතනට ආවේ මැජික් වලින් නොව එවැනි කැපවීම් වලින් බව ලංකාවම හිතට ගැනීම වටිනවා.

සංවාද සටහන
අශෝක ජයතුංග
(වොෂින්ටන් DC සිට)

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!