ඇත්තමයි….තෙත් බිම් හුස්ම ගන්නවා.

පෙබරවාරි 2 වනදාට යෙදෙන ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන්…….

ජෛව ගෝලය අලංකාර කරනා ශාක, සත්ත්ව සහ පාරිසරික විවිධත්වයන් බොහෝය. ඒ අතරින් තෙත්බිම් සඳහා හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි . පාරිසරික සුන්දරත්වය පමනක් නොව සුවිශේෂී ශාක සහ සත්ව සන්තතීන්ට රැකවරණය සළසමින් මිහිමත මිනිසාගේ පැවැත්මට අතිමහත් සේවයක් කරනා සජීවී බිම් ලෙස ස්වභාවධර්මයේ තවත් එක් අපූරු නිමවුමක් වූ තෙත්බිම් හදුන්වා දිය හැක.

අතීතය දෙස හැරී බැලීමේදී මානව ශිෂ්ඨාචාරය ආරම්භයට පවා උරුම අයිතිවාසිකම් කියනා සුවිශේෂී පරිසර පද්ධතියක් ලෙස තෙත්බිම් දැකිය හැකිය. තවත් ආකාරයකින් කිවහොත් තෙත්බිමක් යනු මේ මහ පොළොවේ බර උහුලගෙන සිටිනා සොබාදහම් මාතාවගේ හදවත බඳු බිම් කඩකි. එය මුඩු බිමක් ලෙස ලඝු කරන්නෝ පාරිසරික විද්‍යාව මතු නොව මානව ශිෂ්ඨාචාරයේ මුලකුරු පවා නොකියවූවන්ය .

මේ තෙත්බිම් පරිසරයෙන් අපට බොහෝ දේ උපයාගත හැක. ජල කළමණාකරණය, ජෛව සංරක්ෂණය, හිතකර වායු ගෝලීය තත්ත්වයන් නඩත්තු කිරිම ඉන් ප්‍රධන වෙයි. ඊට අමතරව තෙත් බිම් ආශ්‍රිතව කරනා කෘෂි කාර්මික සහ ධිවර කටයුතු නිසාත්, පාරිසරික සංචාරක කටයුතු නිසාත් තෙත් බිම් අවට ප්‍රජාවගේ ආර්ථික සහ සාමාජීය කටයුතු සමග බැඳී සිටිනා බව පැහැඳිළි වෙයි.

ඉතාම කලබලකාරී පරිසරයක් වන කොළඹ නගරය වටා නෙතටත් සිතටත් සිසිලදෙන තෙත්බිම් කිහිපයක් ද පවතී. දියසර උයන, තළවතුගොඩ සහ ශ්‍රී ජවර්ධන පුර අවට තෙත්බිම්, බෙලන්විල අත්තිඩිය තෙත්බිම් සහ මුතුරාජවෙල තෙත් බිම ඊට උදාහරණයන්ය. ඊට අමතරව ලංකාව පුරා පැතිරි ඇති තෙත් බිම් රැසකි. ආනවිලුන්දාව වැව් අභයභූමිය, බුන්දල ජාතික වනෝද්‍යානය, වන්කාලෙයි අභයභූමිය, කුමන තෙත්බිම් සමූහය සහ මාදු ගඟ අභය භූමිය ඊට උදාහරණ වෙයි. මේවායෙන් බහුතරය තෙත් බිම් සංරක්ෂණය සඳහාවන ගෝලීය ප්‍රඥ්ඥප්තියවන රම්සා ප්‍රග්ඥප්තියෙන් ආරක්ෂිතය. ඊට අමතරව සමස්ත කොළඹ නගරයද තෙත්බිම් නගරයක් ලෙස නම් කර තිබේ . (2018 වසරේ ඔක්තෝම්බර් 25 දින ඩුබායි හි පැවති තෙත්බිම් පිළිබඳ රැම්සා සම්මුතියට (COP13) පාර්ශ්වයන්ගේ 13 වැනි සමුළුවේදී කොළඹ RAMSAR තෙත්බිම් නගරයක් ලෙස නම් කරනා ලදි.)

තෙත්බිම් පරිසර පද්ධතියට ඩෙල්ටාවන්, ජලාශ, කලපු මෙන්ම නොගැඹුරු මුහුදු තීර ආදී වූ පරිසර පද්ධතීන් ගණනාවක් ද ඇතුළත් වේ.

1971 පෙබරවාරි මස 2 වන දින ඉරානයේ රැම්සාර් නගරයේදී රැම්සා‍ර් සම්මුතිය ආරම්භ වන අතර එය ගෝලීය මට්ටමෙන් තෙත්බිම් ආරක්ෂා කිරීම මෙන්ම තෙත්බිම් සංරක්ෂණය සඳහා ආරම්භ විය. තවද මෙම සම්මුතිය 1975 වසරේ සිට ලෝකය පුරා ඇති රටවල තෙත්බිම් සංරක්ෂණය උදෙසා බලාත්මක විය. ඉරානයේ රැම්සාර් නගරයේ දී ඇති කරගත් රැම්සාර් සම්මුතියට 1990 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ද ඇතුළත් වෙමින් එම කීර්තිධර සන්නාමයේ කොටස්කරුවෙකු වන්නට අපට ද හැකිවිය.

රැම්සාර් සම්මුතිය දක්වන පරිදි තෙත්බිම් වර්ග තුනකි. එනම්,

අභ්‍යන්තර මිරිදිය තෙත්බිම්

කරදිය තෙත්බිම්

කෘතිම තෙත්බිම් යනුවෙනි.

රැම්සා සම්මුතිය දක්වන පරිදි තෙත්බිමක් ලෙස හඳුන්වනු ලබන්නේ, “බාදිය මට්ටමේ සිට මීටර් 6ට අඩු මුහුදු ප්‍රදේශ ද ඇතුළත්ව, ගලායන හෝ නිශ්චලව පවතින මිරිදිය, කිවුල් දිය හෝ ලවණ ජලයෙන් තාවකාලිකව හෝ ස්ථිරව යට වී ඇති කෘතිම හෝ ස්වාභාවික වගුරුබිම්, විල්ලු, ජලාශ හෝ ජල මාර්ග, හැල ඉඩම්, පීට් ඉඩම්ය”.

තෙත්බිම් පරිසර පද්ධතිය ගංවතුර පාලනය සඳහා මහඟු පිටුවහලක් සපයයි. මෙයට ජලය පිරිපහදු කරමින් භූගත ජල ගබඩාවක් සේ ක්‍රියා කිරීමේ හැකියාවක් ද පවතී. එපමණක් ද නොව වර්ෂාධික කාලයේදී ගලා යන වැඩි ජල ප්‍රමාණ අවශෝෂණය කර ගනිමින් ඒවා නියං සමයේදී, මුදාහැරීම ද සිදු කරනු ලබයි.

”ස්පොන්ජ්” එකක් ලෙස තෙත්බිම් ක්‍රියා කරනු ලබන අතර ගලා යන ජලයෙහි පවත්නා විස ද්‍රව්‍ය තෙත් බිම් තුළ තැන්පත් වේ. එමගින් ජලය පිරිපහදු කරනු ලබන පෙරහන්කඩක් ලෙසින් ද තෙත්බිම් ක්‍රියා කරයි.

එමෙන්ම කොන්ක්‍රීට් භූමිවල පවතින උෂ්ණත්වය උරා ගනිමින් තෙත් පරිසරය තුළින් මීටර් සීයකට වඩා ඈතට සිසිල් ජල රේණු රැගෙන යමින් වායු සමීකරණ පද්ධතියක් ලෙසින්ද තෙත්බිම් ක්‍රියාත්මක වේ.

ගෝලීය උෂ්ණත්වය පාලනයට ද සුවිශේෂී හැකියාවක් තෙත්බිම් සතු වේ. කුරුල්ලන්ගේ ද සංචාරක පාරාදිසියක් බදු වූ තෙත්බිම් පරිසර පද්ධතිය තුළ සතුන් බොහොමයක් තමන්ගේ දිවි පෙවෙත ගත කරයි.

ගෝමරකලපු පිළිහුඩුවා, කැස්පියන් මුහුදු ලිහිණියා, ලතුවැකියා, අලු පැස්තුඩුවා, සුදුගොයා, කරවැල් කොකා, රත් කරමල් කිරලා, හැඳි අලවා ආදි අලංකාර පක්ෂීන් තෙත්බිම් ආශ්‍රිතව දැකගත හැකි වේ. මීට අමතරව හම්බුපන්, වැටකෙයියා, ඕලු, නෙළුම්, මානෙල් ආදිය ද තෙත්බිම් පරිසර පද්ධතිය ආශ්‍රිතව දැක ගත හැකිය.

අධ්‍යතනය වන විට නව තාක්ෂණයේ ආගමනයත් සමඟ සියල්ල නාගරිකරණය කරා ගමන් කරද්දී හරිත භූමි කොන්ක්‍රීට් වනාන්තර බවට පරිවර්තනය වෙමින් පවතී. මෙය එක්තරා ආකාරයකට කණගාටුවට කාරණයකි. කොළඹට වැටෙන වැසි ජලයෙන් 39% ක ප්‍රමාණයක්ම රඳවා තබාගනුයේ, නාගරික තෙත්බිම්ය. කෙසේ නමුත් නාගරික තෙත්බිම් විනාශ වී යන බවක් ද එය අධ්‍යනය කිරීමේදී පැහැදිලි වේ. දිනෙන් දින ඉහළ යන උෂ්ණත්වය හමුවේ ද තෙත්බිම් විනාශ වෙමින් පවතින අතර විෂ වායු ධාරාවන්ගෙන් සිදුවන වායු දූෂණය ද තෙත්බිම් විනාශ වී යාමේ අඳුරු පැතිකඩ යන්නය.

ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනයේදී පවා ඇතැම් ප්‍රදේශයන් ප්‍රචණ්ඩ මුහුදු රළින් ආරක්ෂා වූයේ ද කඩොලාන පරිසර පද්ධතිය නිසාය. මේ නිසා මෙතරම් විසල් මෙහෙයක් ඉටුකරනු ලබන තෙත්බිම් පරිසර පද්ධති රැකගැනීම අප කාගේත් වගවීමක් සහ වගකීමක්ද වේ. එය එසේ සිදු නොවුණොත් යම්කිසි ආකාරයකට රැම්සාර් සන්නාමය ද අපෙන් ගිලිහී යාමේ හැකියාවක් පවතී.

මේ සම්බන්ධයෙන් ඉතා තදින්ම අප අපගේ අවධානය යොමු කළ යුතුය. මෙතරම් විසල් මෙහෙයක් ඉටු කරනු ලබන හරිත පෙනහලු බදුවූ තෙත්බිම් පරිසර පද්ධතිය අප රැක ගනිමු.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!