ආන්දෝලනාත්මක තීන්දුවක් සමග තුන්වැනි T20 තරගයේ ජය ඇෆ්ගනිස්තානයට…

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තුන්වන විස්සයි විස්ස තරගය අද (21) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත් වූ අතර අද තරගය ලකුණු 3 කින් ජය ගැනීමට, ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 209 ක් රැස්කර ගැනීමට සමත් විය.

පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ගුර්බාස් (Gurbaz) ලකුණු 70ක්, Hazratullah ලකුණු 45ක්, ඔමසායි ලකුණු 31ක්, නබී ලකුණු 16ක්, Ishaq ලකුණු 16ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 2ක්, අකිල ධනංජය කඩුලු 2ක්, වනිඳු හසරංග එක් කඩුල්ලක් ද බිද හෙලීමට සමත් විය.

ඒ අනුව ලකුණු 210ක ජයග්‍රාහී ඉලක්කයක් හබායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ, ලකුණු 206ක් පමණි.

පන්දුවට පහර දීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක පන්දු 30ක් තුළ ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වූ අතර ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

අවසාන පන්දුවාරය තෙක්ම ජයග්‍රහණයේ බලාපොරොත්තු ක්‍රීඩා ලෝලීන් වෙත ලබාදීමට කමිදු මෙන්ඩිස් සමත්විය. ඔහු නොදැවී පන්දු 39ක් තුළ ලකුණු 65ක් ලබා ගත්තේය.

අද තරගයේදී කමිදු මෙන්ඩිස් විස්සයි විස්ස තරග පිටියේ සිය මංගල අර්ධ ශතකය ලබා ගැනීමට සමත්විය. කෙසේ නමුත් අවසාන පන්දුවාරයේදී සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හැකිවිය.

අවසාන ඕවරයේ සිව්වැනි පන්දුව සම්බන්න්ධයෙන් මතබේදකාරී තත්ත්වයක් ඇති විය. එය නිපන්දුවක් නොවෙදැයි පිතිකරු කමිඳු මෙන්ඩිස් විමසා සිටි අතර විනිසුරු එය ප්‍රතික්ෂේප කළේය. එහෙත් රූපවාහිනී පුනරූපන නැරඹු ප්‍රේක්ෂකයගේද මතය වූයේ එය නිපන්දුවක් බවය. යම් හෙයකින් එය නිපන්දුවක් ලෙස නම් කළේනම් ශ්‍රි ලංකාවට අමතර ලකුණක් සමග නිදහස් පහරක්ද හිමිවන බව විචාරකයෝ පෙන්වදෙති.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් නබී කඩුලු 2ක්, අහමඩ් කඩුලු 1ක්, නූර් (Noor) කඩුලු 1ක්, Qais කඩුලු 1ක් ද බිද හෙලීමට සමත් විය.

ඒ අනුව තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස තරගාවලිය 2-1 ලෙසින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි. තරගාවලියේ පැවති එකම ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිල කඩුළු 10 කින් ජයගත්තේය. එක්දින තරග තුනම ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වූ අතර, 20 – 20 තරග තුනෙන් තරග 2කක් ද ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!