අපි රාජකාරිය දේවකාරිය වගේ සළකපු පිරිසක්

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටිනා ආර්ථික අර්බුදයෙන් රට ගොඩගනු වස් අකමැත්තෙන් වුවද බදු අය කිරීමට සිදුව ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර පැවසීය .

බදු අයකිරීම ජනප්‍රිය තීරණයක් නොවනා බවත්, රජය සහ ජනාධිපතිවරයා එවන් තීරණ ගනු ලබන්නේ පටු දේශපාලන අරමුණ පසෙකලා රටේ සංවර්ධන ඉලක්ක අත්පත් කරගැනීමේ අරමුණින් බවත් ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ, මහනුවර බෝගම්බර බන්ධනාගාර ක්‍රීඩාංගනයේ අද (01) ආරම්භ වූ ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවාවේ සමාරම්භක උත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙලෙස පැවසීය,

“අද බදු වලට විරුද්ධව කෑගහනවා. අපිට බදු ගහන්නේ වුනේ පැවති තත්ත්වය වෙනස් කරන්නයි. අපි ඉතිහාසය පුරාවටම රාජකාරිය දේව කාරියටත් වඩා ඉහළින් කරපු පිරිසක්. එදා අපි රජයට කාසි වලින් බදු ගෙව්ව නැති නිසා රජයට රාජකාරි කළා.

ඒ දවස් වල වැව්, දාගැබ් හදන කොට ජනතාව ශ්‍රමයෙන් දායකත්වය දුන්නා. එහිදී වුනේ රට හදන වැඩේට ඔවුන් තමන්ට හැකි ආකාරයෙන් දායකත්වය ලබාදිමයි. එදා වගේ අපිට ශ්‍රමයෙන් දාකත්වය දෙන්න බැහැ. ඒ නිසයි අපි මේ විදිහට බදු ගෙවීම කරන්නේ.

පහුගිය මාසයේදී අපෙක්ෂිත බදු ඉල්ක්කය ඉක්මවා ගිහින් රුපියල් බිලියන 300ක අතිරික්ත මුදලක් භාණ්ඩාගාරයට ඇවිත් තියෙනවා. එහිදී ජනාධිපතිවරයා කිව්වා මහ බැංකුවෙන් මුදල් අච්චු ගහන්න හැකියාවක් නොමැති අවස්ථාවක මේ මුදල් ආරක්ෂිත අරමුදල් විදිහට තියාගමු කියලා.

අපි රටේ අනාගතය වෙනුවෙන් මුදල් ආරක්ෂිතව තියාගන්නවා. ඒක ලබන මාසයෙත් වෙනවා. ඒක ඉදිරි මාස වලදිත් වෙනවා. ඒ අනුව රුපියල් බිලියන 100ත් 150ත් අතර අතිරික්තයක් තියාගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි එහෙම කරන්නේ රටේ දරුවන්ගේ අනාගත වෙනුවෙන් සහ රට නැවතත් අර්බුදයකට වැටෙන එක වැලැක්වීමයි.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!