ත්‍රිකුණාමලය වරායේ භාවිතය සඳහා ජපන් ආධාර මත 2019 වර්ෂයේදී ලැබුණු අධි තාක්ෂණික නියමු යාත්‍රාව අනවසරයෙන් පෞද්ගලික චාරිකාවක් සඳහා භාවිතා කර අනතුරකට ලක්කිරීමෙන් රජයට රුපියල් කෝටි 26කට අධික මුදලක් පාඩු කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව පරීක්ෂණය වහාම ආරම්භ කරන ලෙස ඉල්ලමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ‘සිවිල් බුද්ධි පෙරමුණේ’ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා දෙවැනි වරටත් ඊයේ (24) පැමිණිලි කළේය
මෙම වසරේ ජනවාරි මස 6 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඒසී/220/2025 දරණ අංකය යටතේ පළමු පැමිණිල්ල කළ බවත් එම පැමිණිල්ල සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මේ දක්වා කිසිදු පියවරක් ගැන නොමැති බවත් මහවත්ත මහතා පැවසීය.
අදාල පැමිණිල්ල ලැබුණු බවට පසුගිය පෙබරවාරි මස 10 වැනි දින දැනුම් දීම පමණක් කර ඇති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල පිළිබඳව ද කිසිදු පියවරක් මේ දක්වා ගෙන නොමැති බවත් ඒ මහතා කීය.
එම පැමිණිල්ල රාජ්‍ය දේපල අවභාවිත කරමින් රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් කළ සියලු සාක්ෂි සහිත පැමිණිල්ලක් වන අතර ඒ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් පවත්වනු ඇති බවට විශ්වාස කරන බව කී සංජය මහවත්ත මහතා එම පැමිණිල්ල යොමු කර මාස දෙකකට අධික කාලයක් මේ වන විට ගතවී ඇති බවද සඳහන් කළේය.
මෙයට අදාළ චූදිතයන් මෙම සිද්ධියට අදාළ සාක්ෂි වසන් කිරීමට සියලුම උත්සාහයන් දරන බවට දැන ගන්නට ලැබී ඇති බවත් මෙම සිද්ධියේ ප්‍රධාන චූදිතයා වන ඝනක හේමචන්ද්‍ර නමැත්තා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂ ධූරය දරන බැවින් ඔහු සතු සියලුම බලතල මෙම සිද්ධිය යට ගැසීම සඳහා යොදා ගන්නා බවට වරාය අධිකාරි ආරංචි මාර්ග සඳහන් කරන බවත් ඒ මහතා පැවසීය.
අනරතුරට පත්වූ නියම යාත්‍රාව අදාළ කාර්යන් සඳහා යොදා ගැනීමට නොහැකි හෙයින් ඒ සඳහා විකල්පයක් ලෙස නැව් තල්ලු කරන ‘අලියා බෝට්ටු’ පාවිච්චි කිරීම නිසා අති විශාල පාඩුවක් වරාය අධිකාරියට සිදුවී ඇති අතර අදටත් එම පාඩුව සිදුවෙමින් පවතින බවත් ත්‍රිකුණාමලය වරාය මසකට දළ වශයෙන් නාවික මෙහෙයුම් 20ත් 25ත් අතර ප්‍රමාණයක් කරන අතර එම මෙහෙයුම්වලින් සියයට 50 කට පමණ ඉහත සඳහන් යාත්‍රාව විනාශ වීමෙන් දැඩි බලපෑමක් වී ඇති බවත් මහවත්ත මහතා සඳහන් කළේය.
නාවික යාත්‍රාව වෙනුවට අලියා බෝට්ටුවක් එක වරක් භාවිතා කිරීමට අතිරේකව අවම වශයෙන් ඩීසල් ලීටර් 100ක් පමණ වැයවෙන අතර ඒ අනුව මෙහෙයුම් සඳහා මසකට අවම වශයෙන් ඩීසල් ලීටර් 2000 කට අධික ප්‍රමාණයක් වැය වන බව කී සංජය මහවත්ත මහතා පැවසුවේ එම අධි තාක්ෂණික යාත්‍රාව විනාශ වීම හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට වසරකට දළ වශයෙන් ඩීසල් ලීටර් 24,000 කට පමණ අමතර වියදමක් දැරීමට සිදුවී ඇති බවත්ය.
ජනතා මුදලින් එවැනි වියදමක් දැරීම ජාතික අපරාධයක් මෙන්ම ඒ අනුව ගණනය කළ විට මේ දක්වා අමතර ඉන්ධන සඳහා පමණක් වරාය අධිකාරිය දළ වශයෙන් රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වැය කර ඇති බවත් මෙම සිද්ධියේ ප්‍රධාන චූදිතයන් වන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ ඝනක හේමචන්ද්‍ර සහ ත්‍රිකුණාමලය වරයායේ වර්තමාන නියෝජ්‍ය හාබර් මාස්ටර් අරන්පත් යන මහත්වරු එම තනතුරුවලින් ඉවත්කර මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණයට සහයෝගය දක්වන ලෙස ජනාධිපතිවරයා, වරාය භාර අමාත්‍යවරයා සහ වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව ද සංජය මහවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.