සංජය මහවත්ත රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බොරු චෝදනා එල්ලකළ බව පවසන මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතාව ලබන 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (28) නියෝග කළා.

සාධාරණ හේතුවක් නොමැතිව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට බොරු චෝදනා එල්ල කිරීම ,අසත්‍ය තොරතුරු එල්ල කරමින් රහස් පොලිස් නිලධාරීන්ට බාධා කිරීම,අධිකරණයට හෝ පොලිසියට පදිංචි ස්ථීර ලිපිනයක් ලබාදීමට අපොහොසත් වීම සහ අධිකරණයක් මගින් වරෙන්තු ලද පුද්ගලයකු වීම හේතුවෙන් සැකකරුට ඇප ලබා දිමට මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව ලබන පළමුවැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරියට නියෝග කරමින් දන්වා සිටියා.

නීතිය ක්‍රියාවේ යෙදවීමේ නිරත වන රහස් පොලිසියට හා නිලධාරීන්ට අගෞරවය හා වෛරය ඇති කරවන ප්‍රකාශ නිකුත් කිරීම,යම් තැනැත්තෙකුට පාඩු අලාභ සිදු කිරීමේ චේතනාවෙන් බොරු චෝදනා එල් කිරීම ඇතුළු චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!