නීති ක්‍රියාත්මක කරන ලෙසට කලබල කරන අයගේ ගෙවල්වලට සිතාසියක් පැමිණෙනු ඇති බවත්, එදාට සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ හෝ වෙනත් කොහේ හරි හැංගෙන්නේ නැතිව එන්න යැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කර පැවසුවේය.
ක්ලීන් ශ්‍රී ලංකා පිළිබද පාර්ලිමේන්තුවේ සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් මේ වන විට පැවැත්වෙන අතර එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මෙසේද කීවේය.
සීයට තුනේ හිටපු අපි ආණ්ඩු කරනවා වගේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යෘතිය කරලා තමයි අවසන් කරන්නේ
අපි කාර්යමණ්ඩලවලට ඥාතීන් දාගෙන නෑ. ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භ කරලා තියෙන්නේ උඩින්මයි. තානාපති කාර්යාලවලට ඥාතීන් දාගෙන නෑ.
මන්ත්‍රීකමක් ගන්න කෝටි 50ක් දීලා තියෙනවා. අපිට පැමිණිල්ලක් කළා නම් ඒ කෝටි 50 බෙදාගත්ත හැටි හොයන්න පුලුවන්.
නීති තියෙන්නේ වැරදි කරපු අයට දඩුවම් කරන්න මිසක් හොද අයට දඩුවම් කරන්න නෙමෙයි. දැන් කෝ හොරු ඇල්ලුවද කියලා අහනවා. අපිට තුනෙන් දෙකක බලයක් තියෙනවා. හැබැයි අපි කලින් තිබුණ ආණ්ඩු වගේ නෙමෙයි. බලය තියෙන අපිත් නීතියේ විධානයට හා ආධිපත්‍යයට යටයි.
දැන් විමර්ශන පටන් ගෙන තියෙනවා. ඒවාගේ ප්‍රගතිය මට එළියට කියන්න බෑ. පාස්කු ප්‍රහාරය ගැන හොයනවා. අපි කිසිම කෙනෙක්ගෙන් දේශපාලනිකව පලි ගන්නේ නෑ. අර්ජුන ඇලෝසියස්ලාගේ බදු නොගෙවපු අය හිරේ ඉන්නවා. දඩ අය කරගන්නවා. මෙච්චර කල් ඉස්පිරිතාලේ හිටපු දුමින්ද සිල්වා දැන් ඉන්නේ ශෙල් එකේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් මත්පැන් නිෂ්පාදනාගාරයේ බදු අයකරගත්තෙත් අපි. ඒ වගේම සුරාබදු ආදායම කෝටි විසිදහසක් බවට පත් කළෙත් අපි. මත්ද්‍රව්‍ය, අයිස් වගේ දේවල් මැඩලන්න හරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නෙත් අපි.
කලබල කරන අයට අපි කියන්නේ මෙච්චරයි. නීතියට අනුව ගෙදරට සිතාසියක් ඒවි. එදාට එන්න. සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් එකේ හරි කොහේ හරි හැංගෙන්නේ නැතිව.
නීති ක්‍රියාත්මක කරන්න කාලයක් යනවා. මේවාට හදිසි කරන අයගේ ලනු අපි කන්නේ නෑ.