මහින්ද රාජපක්‍ෂට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ?

අයි.එස්.අයි.එස්. සංවිධානය බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇතැයි බුද්ධි අංශ වාර්තාවලින් හෙළිකර තිබියදී වාර්තාවල කරුණු වසන් කරමින් මහජන ආරක්‍ෂක ඇමැතිවරයා සහ වර්තමාන ආණ්ඩුව හමුදා ආරක්‍ෂාව ඉවත්කරමින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාව සම්පූර්ණයෙන්ම අනතුරේ හෙළීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය.

පාතාල සහ එල්.ටී.ටීඊ. යන තර්ජන ඇතුළු සියලුම පාර්ශවලින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ ජීවිතයට ඇති තර්ජනය අඩුවී නොමැති යැයි බුද්ධි අංශ වාර්තා කර බවත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ ජීවිතයට ඇති තර්ජනය සහ ඔහුගේ ආරක්‍ෂාව අඩු නොකළයුත්තේ ඇයි දැයි බුද්ධි වාර්තා 13 ක් පෙන්වා දී ඇති බවත් ගමගේ මහතා කීය.

ප්‍රභූ ආරක්‍ෂාව සම්බන්ධයෙන් නැවත සළකා බැලීමට පත්කළ කමිටුව පස්වැනි විධායක ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසයේ 5 වෙතින් ජීවිත තර්ජන පිළිබඳව වාර්තාවක් කැඳවූ බවත් එහි එම සියලු තර්ජන පිළිබඳව වාර්තා කර ඇති බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.