අලුත් අවුරුදු පණිවිඩ

භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අගාධයට ඇද වැටී තිබු අප රට පසුගිය මාස කිහිපය තුළ නැවත ගොඩනඟමින්, ආර්ථික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් නව තලයකට ඔසවා තැබීමට අපි සමත් ව සිටන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

අභියෝග හමුවේ නොසැලි රට වෙනුවෙන් අපගේ වගකීම තවත් ශක්තිමත්ව ඉටු කිරීමේ ධෛර්ය වගකිව යුතු රජයක් ලෙස අප සතු අතර, රට ඉදිරියේ ඇති සියලු ආකාරයේ අභියෝග ජය ගැනීමට අවශ්‍ය සැලසුම් රජය මේ වනවිට ක්‍රියාවට නංවමින් සිටි බව සිය අලුත් අවුරුදු පණිවිඩය නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රටට අවැසි නව ආර්ථික, සමාජයීය සහ දේශපාලනික පරිවර්තනයක් සාක්ෂාත් කෙරෙන ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගනිමින් රටත්, ජනතාවත් දිනවීම පිණිස මේ එළැඹෙන අලුත් අවුරුද්දේ තවත් සවිමත්ව, සහෝදරත්වයෙන් එකම අරමුණකට පෙළගැසෙන්නට ආරාධනා කරන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

අපගේ ජීවිතයේ සෑම අංශයක්ම අලුත් කිරීම අත්‍යවශ්‍ය වන මොහොතක මෙවර අලුත් අවුරුද්ද උදා වු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසන්නීය.

මෑත ඉතිහාසයේදී ආර්ථික අර්බුදය, බොහෝ දෙනෙකුට අවුරුදු සැමරීමේ සිතුවිල්ල පවා දුෂ්කර වී තිබු බවත්, දූෂණ, වංචා චක්‍රයකින් මිදීමට ජනතාව ගත් නිර්භීත උත්සාහයෙන්, නව ආරම්භයකට මග පෑදී ඇති බව ඇය පෙන්වා දෙයි.

එම නිසා 2025 වසර අලුත් අවුරුදු සැමරුම සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව සිය අලුත් අවුරුදු පණිවිඩය මගින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය සඳහන් කළාය.