තම ආදරය වෙනුවෙන් අවුරුදු 3 කට ආසන්න කාලයක් තුළ කිලෝ මීටර් 200 ක් දුරක් ගෙවමින් ඝන වනාන්තර පසු කරමින් සිය පෙම්වතිය වෙත පැමිණි බොරිස් නම් සයිබීරියානු කොටියකු පිළිබඳ පුවතක් රුසියාවෙන් වාර්තා වේ.
එලෙස බොරිස් කිලෝ මීටර් 200 ක දුරක් ගෙවා සිය පෙම්වතිය වූ ස්වෙට්ලායා වෙත පැමිණීමෙන් මාස 6 කට පසුව ඔවුන් දෙදෙනාගේ ආදරය පළ දරා ස්වෙට්ලායා කොටි පැටවුන් කීපදෙනෙකුද බිහිකර ඇතැයි පැවැසෙයි. බොරිස් සහ ස්වෙට්ලායා කුඩා කළ දෙදෙනාගේ දෙමව්පියන්ගේ වෙන්වී රුසියානු සික්හොටේ ඇලින් කඳුවැටියේ අතරමන්ව සිටින විට 2012 වසරේදී සත්ව සංරක්ෂකයින් පිරිසක් විසින් මුදා ගනු ලැබ ඇත.
පසුව ඔවුන් දෙදෙනා අවම මිනිස් සම්බන්ධතාවය සහිත සංරක්ෂණ වැඩසටහනකට ඇතුළත කර ඇති අතර ඔවුන්ට මාස 18 දී නැවත වනාන්තරයට මුදා හැරීම ව්‍යාපෘතියේ අරමුණ වී තිබිණි. එහිදී මාස 18 වනතෙක් බොරිස් සහ ස්වෙට්ලායා එකට හැදී වැඩි තිබේ. අනතුරුව 2014 වසරේදී කොටින්ගේ ඓතිහාසික වාසස්ථානයක් වන රුසියාවේ සික්හොටේ ඇලින් කඳුවැටියට බොරිස් සහ ස්වෙට්ලායා සාර්ථකව මුදා හැර ඇත.
මුදා හැරීමේදී සිටිනා තැන දැන ගැනීමට හැකිවන පරිදි ඔවුන්ව මුදාහැර ඇතත් දෙදෙනාව එකම තැනකට මුදාහැර නොමැත. දෙදෙනා අතර කිලෝ මීටර 200කට ආසන්න දුරක් සිටින පරිදි බොරිස් සහ ස්වෙට්ලායා සික්හොටේ ඇලින් කඳුවැටියේ ස්ථාන දෙදෙකට මුදා හැර තිබිණි.
සයිබීරියානු කොටි ගහණය වර්ධනය කිරීමේ අරමුණින් එලෙස ස්ථාන දෙකකට මුදා හැර ඇතත් බොරිස් අනිකුත් කොටි ධේනුවන්ට උනන්දුවක් දක්වා නොමැති අතර ඔහුට වෙනත් සැලසුමක් තිබී ඇත. මුදාහැරි අවස්ථාවේ සිට බොරිස් අසාමාන්‍ය චලන රටාවක් පෙන්නුම් කර ඇති අතර ඉන් සත්ව සංරක්ෂකයන්ගේ කුතුහලය ඇවිස්සී තිබිණි.
මුදා හැරී අවස්ථාවේ සිට බොරිස් කෙළින් ගමන් කර ඇති අතර එය කාගේත් විමතියට හේතුවී ඇත. බොරිස් සිය පෙම්වතිය වූ ස්වෙට්ලායා මුණගැසෙන තෙක් අධිෂ්ඨානයෙන් යුතුව කෙළින් ගමන් කර ඇති අතර අවසානයේදී ඔහුට ඇයව මුණගැසී තිබිණි.
මෙම අමරණීය සයිබීරියානු කොටි ආදරය පිළිබඳ සත්ව ලෝකය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළද කා අතරත් කතා බහක් ආරම්භ වී ඇත