පංච මහා බලවේග ඒකරාශී කරන්නේ පොදුජන එක්සත් නිදහස් පෙරමුණයි -ප්‍රසන්න රණතුංග

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග ඒකරාශී කළ හැකි වාමාංශික කඳවුර පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඔහු මේ බව පැවැසුවේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ බියගම ආසනයේ කාන්තා සමුළුවට සහභාගී වෙමින්.

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීමට මේ කාන්තා සමුළුව සංවිධාන කර තිබූ අතර, එය දෙල්ගොඩ ටැමරින් උත්සව ශාලාවේදී පැවැත්වුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එහිදී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට ප්‍රසන්න රණතුංග මහතා මෙසේ පැවසුවා.

“ආර්ථික අර්බුදයක් තිබූ රටක අද වන විට ඩොලර් බිලියන 07ක සංචිතයක් තිබෙනවා. මුළු රටම රනිල්ට හැරෙන විදිය ඔබට පේනවා ඇති. මේ රට තිබු තත්ත්වය කොහොමද, මේ රට ගොඩගන්න පුළුවන් කොහොමද කියන එක බුද්ධිමත් ජනතාව දන්නවා. බොරු කියන මිනිසුන්ට මේ රටේ තැනක් නෑ. ඒ නිසා තමයි සියලු දෙනා එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්නේ.

පැවති තැපැල් ඡන්දයේ වැඩි වාසිය රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙනවා. පසුගිය කාලේ කොවිඩ් වසංගතයක් තිබුණා. ආර්ථික අර්බුදයක් තිබුණා. ඒත් අපි කිසිදු රාජ්‍ය සේවකයෙක් ඉවත් කළේ නෑ. රාජ්‍ය සේවකයන්ගේ දීමනාව වැඩි කරන්න අවශ්‍ය පසුබිම නිර්මාණය වුණා. එදා අපට තෙල් ටික, ගෑස් ටික ගන්න ඩොලර් මිලියන 20ක් හොයා ගන්න බැරි වුණා. අපට අද වන විට ඩොලර් බිලියන 07ක සංචිතයක් ඇති කරන්න පුළුවන් වු නිසා තමයි IMF එක පවා එකඟ වෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ දීමනාව වැඩි කරන්න. වැටුප් මත තිබෙන බද්ද අඩු කරන්න. IMF සාකච්ඡා කරන්න පවා එකඟ වුණේ ඒ නිසයි. රනිල් වික්‍රමසිංහ මහතා නිසි පරිදි ආර්ථිකය කළමනාකරණය කළා.”