වැවිලි සමාගම් 21ක පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරමින් පසුගියදා කම්කරු අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුවට එරෙහිව වතු සමාගම් විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (28) සලකාබලා තිබෙනවා.

ආගරපතන වැවිලි සමාගම ඇතුළු සමාගම් 21 ක් විසින් අභියාචනයකින් ඉදිරිපත් කර තිබු මෙම පෙත්සම් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර සමාගම් අධිකරණයට කියා සිටියේ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් ඉකුත් දා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි.

එම ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා තමන් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළ බවත් එය විභාගයට ගැනීමට තීන්දු කළ අභියාචනාධිකරණය අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයන් නිකුත් නොකිරීමට තීරණය කළ බවත් පෙත්සම්කරුවන් ප්‍රකාශ කළා.

එම තීරණය නීතිවිරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා වතු සමාගම් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!