ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි

මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුය පවසන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇති බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශවල අද (19) ප.ව. 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩිතද වැසි ඇති විය හැකි බවත් දකුණු පළාතේ විටින්විට පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.