මහා විනාශයක් වළකා ‘ළමුන් ඇතුළු 50කගේ දිවි බේරූ’ රියදුරු මහත්මයා

දොළොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් දෝෂයක් හේතුවෙන් රියදුරු පාලනයෙන් ගිලිහුණු අවස්ථාවේදී දැඩි පරිශ්‍රමයක් දරා කන්දක ගැටීමට සලස්සවා නතර කරගැනීමේ පුවතක් වාර්තා වනවා.

නාවලපිටිය, උඩුවැල්ල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවන විට බසයේ පාසල් ළමුන් ඇතුළු මගීන් 50 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා.

පාසල් ළමුන් තිදෙනෙකු මගීන් පස්දෙනෙකු සහ බස් රථයේ රියදුරා තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

බස් රථය ධාවනය වෙමින් තිබූ අවස්ථාවේ ඉදිරිපසින් විශාල ශබ්දයක් ඇසී ඇති අතර ඒ සමග බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී තිබෙනවා.

රියදුරා දැඩි පරිශ්‍රමයක් දරා බස් රථය මාර්ගය අසල පිහිටි කන්දක ගැටීමට සලස්සවා නතර කරගෙන ඇති බවත් ඊට නුදුරින් අධික බෑවුමක් සහිත ප්‍රපාතයක් පිහිටා ඇති බවත් වාර්තා වනවා.