වෝඩ් පෙදෙසේ ඝාතනය ගැන පොලීසියට මතුවුණ අලුත් සැකය

කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගැනීමට කුරුඳුවත්ත පොලීසිය අද (23) සමත් වුණා.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඝාතනයට ලක් වූ පුද්ගලයා 33වන වියේ පසුවන චමින්ද කුමාර නමින් හඳුන්වන ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිකරුවක් වන බවයි.

එසේම ඔහු දිවා කාලයේදී ඇලුමීනියම් ආශ්‍රිත රැකියාවක නිරතව ඇති අතර රාත්‍රී කාලයේදී කුලී රථ ධාවනය කරන අයෙකු ලෙස කටයුතු කර ඇති බවත් අනාවරණ වී තිබෙනවා.

ඔහු අතුරුගිරිය ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිට ඇති බවත් පොලීසිය පැවසුවා.

ඝාතනයට ලක් වූ පුද්ගයාගේ පපුවේ සහ ගෙලෙහි තියුණු ආයුධවලින් සිදුකළ පහරදීම් හේතුවෙන් ඇති වූ තුවාල දෙකක් දක්නට ලැබෙන බවත් පොලීසිය පවසනවා.

එසේම ඔහුගේ සිරුර පසුපස අසුන අසළ වැටී තිබීම හේතුවෙන් පොලීසියට සැකයක් මතුව තිබෙනවා.

ත්‍රිරෝද රථයේ පැති කණ්ණාඩියක් කැඩී මාර්ගයේ වැටී තිබුණා.

කෙසේනමුත් ඝාතනය කළ පුද්ගලයා හා ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව සඳහන් වනවා.

ඒ අනුව පොලිසිය අදාළ ප්‍රදේශයේ ඇති CCTV කැමරාද පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා.

කෙසේනමුත් අදාළ ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී තිබුණේ එය මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් වාහනයක් බවයි.

අදාළ පුද්ගලයාගෙන් සිදුකළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ ත්‍රිරෝද රථය තම මස්සිනාට කූලී ගමන් යෑම සඳහා ලබා දී ඇති බවයි.

වෝඩ් පෙදෙසේ පිහිටි ජාතික දන්ත රෝහල අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී එම මළ සිරුර පොලීසිය මඟින් සොයා ගනු ලැබුවේ අද අලුයම 1ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුවයි.

මේ අතර අදාළ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය අද පෙරවරුවේ සිදුකළා.

අනතුරුව දේහය කොළඹ ජාතික රෝහලට රැගෙන ගියා.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!