ජාත්‍යන්තර තරගාවලියකදී පළමු වරට මල්ලවපොර පදක්කමක් දිනූ නෙත්මි දිවයිනට

ස්පාඤ්ඤයේ පැවති වයස අවුරුදු 20 න් පහළ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර තරගාවලියකදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ නෙත්මි අහිංසා ක්‍රීඩිකාව ඊයේ (08) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ලෝක මල්ලවපොර ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කළ මෙම තරගාවලිය ස්පාඤ්ඤයේ පොන්ටෙවෙඩ්පා( Pontevedpa ) නගරයේ ලෝකයේ රටවල් 100 කට අධික ප්‍රමාණයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණා.

මෙම තරගාවලියේ දී ලෝකඩ පදක්කම දිනා ගත් නෙත්මි අහිංසා ක්‍රීඩිකාව පසුගිය 8වන දින රාත්‍රී 08.40 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී අදහස් දැක්වූ නෙත්මි අහිංසා පැවසුවේ,

” මම කසකස්තාන , බල්ගේරියානු සහ හංගේරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 – 0 ලෙස පරාජය කළා . ලෝක ශූර චීන ක්‍රීඩිකාව සමග 2 -2 ක් ලෙස කරට කර තරග කරමින් සිටියදී එම තරගයේ දී අවාසනාවන්ත ලෙස පරාජය වුණා. ඉන්පසුව තුන් වැනි ස්ථානය සදහා රුසියානු ක්‍රීඩිකාව සමග තරග කර ඇය 6 – 2 ක් ලෙස පරාජය කරමින් කිලෝ ග්‍රෑම් 53 බර පංතිය යටතේ ලෝකඩ පදක්කම දිනා ගත්තා ” යනුවෙනි.

ඇය කුරුණෑගල , පන්නල වෙල්පල්ල සංඝරත්න මහා විද්‍යාලයේ සිසුවියකි .