මෝදි ලංකාවට පැමිණි අවස්ථාවේදී අත්සන් කළ ගිවිසුම්වල පිටපත් ජනාධිපති ලේකම් කාර්යාලයේ නෑ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණි අවස්ථාවේදී අත්සන් කළ ගිවිසුම්වල පිටපත් ජනාධිපති ලේකම් කාර්යාලය සතුව නොමැති බව අනාවරණය වේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරවාරයේදී අත්සන් කරනු ලැබූ ගිවිසුම්වල පිටපත් ජනාධිපති ලේකම් කාර්යාලය සතුව පවතින්නේද යන්න තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ශ්‍රී ලංකා නිව්ස් විමසා සිටියේය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරනු ලැබූ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය සදහන් කර සිටින්නේ එම ගිවිසුම් සදහා ජනාධිපතිවරයා අත්සන් තබා නොමැති නිසා, ඒවායේ පිටපත් ජනාධිපති ලේකම් කාර්යාලය සතුව නැති බවය.

මෙම ගිවිසුම්වල පිටපත් විදේශ කටයුතු අමාත්‍යාංශය සතුව පවතින්නේද යන්න පිළිබදවත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති අතර එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ අදාල ගිවිසුම් අදාල අමාත්‍යාංශවලින් විමසන ලෙසය. එහෙත් එම ගිවිසුම්වල පිටපත් විදේශ කටයතු අමාත්‍යාංශය සතුව ලේඛන ගතව පවත්වාගෙන යන්නේද යන්න පිළිබදව කළ විමසීමට පිළිතුරු ලබාදී තිබුණේ නැත. මේ නිසා මේ සම්බ්නධයෙන් වන අභියාචනයක් ශ්‍රී ලංකා නිව්ස් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කර තිබේ.

ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය අතරවාරයේදී අත්සන් කරනු ලැබූ ගිවිසුම් පිළිබද තොරතුරු, තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසා සිටින ලෙසට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දැනුම් දුන් අතර ඒ අනුව ශ්‍රී ලංකා නිවිස් විසින් අදාල තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබුවේය

මේ අතර ඉන්දියාව සමග ඇති කරගත් ආරක්ෂක ගිවිසුම් ඉල්ලා සටන් නොකරන ලෙසට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරීන් විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂවලට දැනුම්දී තිබෙන බවද තානාපති කාර්යාල ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.