ශ්‍රී ලංකා – එංගලන්ත සටනේදී ජෝ රූට්ගෙන් වාර්තා රැසක්

එංගලන්තයෙන් බිහිවූ වඩාත් සාර්ථකම ටෙස්ට් පිකිකරුවා බවට පත්වෙමින් සිටින ජෝ රූට්, ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ (29) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 33වැනි ශතකය වාර්තා කළා.

ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ජෝ රූට් ලකුණු 143ක් රැස්කරගත්තා.

ඒ අනුව එංගලන්තය වෙනුවෙන් මෙතෙක් වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් වාර්තාකළ හිටපු නායක ඇලෙස්ටියාර් කුක් හා සමවීමට ඔහුට එහිදී අවස්ථාව හිමිවුණා.

කුක් හා රූට්ගෙන් පසු එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතක ගණනක් රැස්කර ඇත්තේ කෙවින් පීටර්සන් වන අතර, ඔහු ශතක 23කට හිමිකම් කියනවා.

එසේම මෙම ශතකයත් සමග වත්මන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ සිටින පිතිකරුවන්ගෙන් වැඩිම ශතක රැස්කර ඇති පිතිකරුවා වීමටද ජෝ රූට් හට හැකිවෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ නිවහන (Home of Cricket) ලෙසින් සැලකෙන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ රූට් අවස්ථා 06කදී ශතක වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඔහුට තවත් එක් ශතකයක් වාර්තා කිරීමට හැකිවුවහොත් ලොව පැරැණිම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩිම ශතක රැස්කළ පිතිකරුවාගේ ගෞරවය හිමිකරගැනීමටද අවස්ථාවක් හිමිවෙනවා.

2012 වසරේදී ටෙස්ට් වරම් හිමිකරගත් ජෝ රූට් මේ දක්වා ඉනිම් 264කට (තරග 145) ක්‍රීඩාකර ලකුණු 12,274ක් රැස්කරගෙන සිටිනවා.

ඒ අනුව ඔහුට එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ පිතිකාරුවා වන ඇලෙස්ටියාර් කුක් (12,472) අභිබවා යාමට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 198ක් පමණයි.