ඇමරිකාවේ මහින්දගේ කපන්න බැරි අත

අලුත් ආණ්ඩුවක් පත්වූ පසුව අලුතෙන් පත්වන්නේ කැබිනට් මණ්ඩලය පමණක් නොවේ. එය හා බැඳුණු තවත් මාරුවීම් රැසක් තිබෙන්නේය. රාජ්‍ය සේවයේ ඉහළ පුටු බොහෝමයක් මාරු වන්නේ අලුත් ආණ්ඩුවේ අපේක්ෂාවන් ඉටු කරත හැකි නිලධාරීන් එම තනතුරුවලට පත් කරගැනීම සඳහාය. රාජ්‍ය සේවයේ ඇතැම් ඉහළ පුටුවල සිටින නිලධාරීන්ට එම පුටුවේ රැඳී සිටීමට ලැබෙන්නේ පැය කිහිපයක් පමණි.
බොහෝ විට ජනාධිපතිවරයෙක් දිවුරුම්දී අවසන්වන විටම අලුත් ලේකම්වරයෙක්, ජනාධිපති ලේකම් පුටුවට පැමිණෙන්නේය. ඇතැම්විට අමාත්‍යවරු දිවුරුම්දීමටත් පෙර අමාත්‍යාංශ ලේකම්වරු පත් කර අවසන් කරන්නේය. අලුත් ආණ්ඩුකාරවරු පත් වන්නේය. මේ අතර ලෝකයේ විවිධ රටවල තානාපති ධුර සඳහා පත් කර සිටින තානාපතිවරුද යළි රටට කැඳවන්නේය.

දේශපාලනිකව පත් කර සිටින තානාපතිවරුන්ට ආණ්ඩු මාරුවත් සමගින් නැවත ලංකාවට පැමිණීමට සිදුවීම පසුගිය කාලයේ සුලබ සිදුවීමක් වී තිබුණේය. ඒ තානපතිවරුන් ලෙස දේශපාලන පත්කීරීම් බොහෝමයක් කර ඇති නිසාය.
තානාපතිවරුන් පත් කිරීමේදී ලෝකයේ තානාපති සේවයේ පිළිගත් ක්‍රමවේද දෙකක් තිබෙන්නේය. විදේශ කටයුතු අමාත්‍යාංශයක සේවයට පැමිණ, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨත්වයේ පඩිපෙළ නගිමින් ඉහළට පැමිණ තානාපතිවරයෙක් හෝ මහ කොමසාරිස්වරයෙක් බවට පත්වීම එකකි. නැතිනම් රටේ කීර්තමත් පුද්ගලයන්, තානාපතිවරයෙක් බවට පත් කිරීමය. එහි අභිමතය ඇත්තේ රාජ්‍ය නායකයාටය.
එසේ රටේ කීර්ති නාමය ඇතිකරගත් පුද්ගලයෙක් වූ සැණින් ඉන්දියාව වැනි රටක් නියෝජනය කරමින් වෙනත් රටක තානාපතිවරයෙක් බවට පත්වීමට හැකියවක් නැත්තේය. ඒ ඉන්දියාව, තමන්ගේ රටේ තානාපතිවරු බවට පත් කරන්නේ වෘත්තීයෙන් තානාපති සේවයේ නිලධාරීන් පමණකි. එහෙත් ඇමරිකාව වැනි රටවල සියයට පනහක් වෘත්තීය තාකාපති සේවයේ නිලධාරින් තානාපතිවරුන් බවට පත් කරන අතර තවත් සියයට පනහක් තානාපති සේවයෙන් පිටත කීර්තියක් ඇති පුද්ගලයන් වෙනුවෙන් වෙන් කරන්නේය. මේ වන විට ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් වෘත්තියෙන් තානාපති සේවයේ නිලධාරිනියකි. ඒ නිසා ජෝ බයිඩන්ගේ ආණ්ඩුව මාරුවී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වූ සැණින් ඇයට ලංකාව හැරදා නැවත ඇමරිකාවට යාමට සිදුවූයේ නැත.

එහෙත් ලංකාවේ තත්ත්වය එසේ නොවීය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලට පත්වු වහාම තානාපතිවරුන් පහළොස් දෙනෙක් නැවත කැඳවීමට තීරණය කළේය. ජනාධිපති ලේකම්වරයාගේ නියෝගයක් අනුව එම තානාපතිවරුන් කැඳවීමේ නිවේදනය නිකුත් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්ය.

ආණ්ඩු මාරුවූ සැණින් දේශපාලන හිතවත්කම් මත පත් කර තිබූ තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් නැවත ගෙන්වීම සම්බන්ධයෙන් සමාජයෙන් විරෝධයක් මතුවූයේ නැත. ඒ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඒ බව ප්‍රකාශ කර තිබූ නිසාය. ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ආකාරයට කටයුතු කිරීම පිළිබඳව සමාජයෙන්ද යම් ආකාරයක සුබවාදී ප්‍රතිචාර ඔහුට ලැබෙමින් තිබුණේය.
එසේ කැඳවූ තානාපතිවරුන් අතර ඉන්දියාවේ මහ කොමසාරිස් ක්ෂෙනුකා සෙනවිරත්න විය. වෘත්තීය තානාපති සේවයේ නිලධාරිනියක් වූ ඇය ඒ වන විට මහ කොමසාරිස්ධුරයට පත් කර තිබුණේ ඇගේ විශ්‍රාම ගැනීමෙන් පසුවය. ඒ දේශපාලන පත් කිරීමක් ලෙසය. බලයට පත්වූ පසුව පළමු නිල සංචාරය ලෙස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරයක් බලා පිටත්ව යාමට සූදානම් වූ අතර ලංකාවේ මහ කොමසාරිස්වරියක් ඉන්දියාව තුළ නොසිටින අවස්ථාවකදී ජනාධිතිවරයාගේ පැමිණිම ඉන්දියාව රිස්සුවේ නැත. මේ නිසා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබුණේ ජනාධිපතිවරයාගේ සංචාරය අවසන් වන තෙක් ක්ෂෙනුකාට ධුරයේ රැඳී සිටීමට අවස්ථාව දිය යුතු බවය. ඉන්දියාවේ ඉල්ලීමට කන් දෙමින් ඇයට මාසයකට ආසන්න බෝනස් කාලයක් හිමිවිය.

අනෙක් අවස්ථාව හිමිවූයේ වොෂින්ටන්හි සිටින ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහය. මන්ත්‍රිධුරයෙන් ඉල්ලා අස්වී තානාපති ධුරය භාරගත් ඔහුට නැවත ලංකාවට පැමිණීමට සිදුවූයේ නැත. ඒ වත්මන් ආණ්ඩුවත් ඔහු තානාපති ධුරයේ තබාගැනීමට කටයුතු කරන නිසාය. ආණ්ඩුව ඔහු ලංකාවට නොකැඳවීම හරියට කපන්න බැරි අත සිඹිනවා වගේ වැඩකි. එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය අරඹා රනිල්ගේ, මහින්දගේ, ගෝඨාභයගේ ආණ්ඩු නියෝජනය කළ මහින්ද සමරසිංහ ගේ දේශපාලනය මාලිමාව සමග පෑහෙන්නේ නැත. එනමුත් මහින්ද හැර වෙන විකල්පයක් ආණ්ඩුවට තිබුණේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගනුදෙනු ඉදිරියට ගෙන යාමට නම් මහින්ද සමරසිංහ තවදුරටත් ඇමරිකාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ යුතු බව ආණ්ඩුවේ ස්ථාවරය විය.

මහින්ද සමරසිංහ දේශපාලනඥයෙක් වුවත් ඔහු තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ දේශපාලනඥයෙක් ලෙස නොවේ. වෘත්තීය තානාපති සේවයේ නිලධාරියෙක් ලෙස ඔස්ට්‍රේලියාවේ තෙවැනි ලේකම් ධුරයට පත්වූ ඔහු පසුව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ සේවයට එක්වූයේය. එවකට ඔහුගේ ප්‍රධානියා වූයේ තානාපති සේවයේ කීර්තිමත් නිලධාරියෙක් වූ ආචාර්ය ජයන්ත ධනපාලය. පසුව ජිනීවාහි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව හිමිකම් කමිටු පුධානියා ලෙස රටවල් 168 ක සහායෙන් ඡන්දයෙන් පත්විය. ජාත්‍යන්තරව ඔහු ගොඩනගාගත් කීර්තිනාමය කෙසේද යත් ඔහුට විරුද්ධව ඉල්ලූ තානපති නිලධාරියාට දිනා ගැනීමට හැකිවූයේ ඡන්ද 03කි. මහින්ද සමරසිංහට ඡන්ද 165කි. ඒ කාලයේ ලොව තිබූ ප්‍රධාන ප්‍රශ්නවලට මහින්ද මැදිහත් විය. මැලේසියාවෙ එවකට හිරකොටසිටි අන්වර් ඊබ්‍රහිම් (දැන් අගමැති) මියන්මාරයේ සුකී ගේ සිරගතවීම වැනි ජාත්‍යන්තර අවධානයට ලක්වූ සිදුවීම්වලට ඔහු මැදිහත් වුණේය.

කෙසේ නමුදු මහින්ද සමරසිංහට තිබූ වාසනාව අනෙක් තානාපතිවරුන්ට තිබුණේ නැත.

කලක් විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළ රෝහිත බෝගොල්ලාගම වත්මන් ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවේදී සිටියේ බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස්වරයා ලෙසය. හිටපු නීතිපතිවරයෙක් සහ අගවිනිසුරවයෙක් වූ මොහාන් පීරිස් සිටියේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධායේ නිත්‍ය නියෝජිතයා ලෙසය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් වූ රොඩ්නි පෙරේරා ජපානයේ තානාපතිවරයා විය. ඉන්දුනීසියාවේ තානාපති ධුරය දරමින් සිටියේ විශ්‍රාමික නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේය. ඔහු රාජපක්ෂ පාලන කාලයේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධුරයද දැරුවේය. හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් දරමින් සිටියේ මැලේසියාවේ මහ කොමසාරිස් ධුරයයි. අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න පාකිස්තානයේ මහ කොමසාරිස්වරයා ලෙස සේවය කරමින් සිටියේය. 

මොහොමඩ් ඉෂාඩ් ඉරානයේ තානාපතිවරයා ලෙස සේවය කළ අතර හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සුදර්ශන පතිරණ නේපාලයේ මහ කොමසාරිස් ධුරය දරුවේය. බී කනනාදන් කෙන්යාවේ මහ කොමසාරිස්වරයා වූ අතර ශ්‍රීමාල් වික්‍රමසිංහ සීෂෙල්ස්හි තානපතිවරයා විය. ශ්‍රීමාල් වික්‍රමසිංහ වූ කලි ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයාය. කියුබාවේ තානාපතිවරයා ලෙස සේවය කරමින් සිටියදී කැඳවූ අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හිටපු නාවික හමුදාපතිවරයෙකි. රංග ගුණවර්ධන මාලදිවයිනේ මහ කොමසාරිස්වරයාය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී නැවත කැඳවූ උදය ඉන්ද්‍රරත්න ව්‍යාපාරිකයෙකි. එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පාලකයන් සමග සමීපව කටයුතු කර ඇති ඔහු එරට පාලකයන්ගේ උපදේශකයෙක් ලෙස කටයුතු කර තිබුණේ දියුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයක් වෙනුවෙන් නිහඬ දායකත්වයක් දැක්වූ අයෙක් ලෙස නමක් දිනාගත්තෙකි.

මෙසේ දේශපාලන හිතවත්කම් මත තානාපතිධුරයන්ට පත් කර සිටි තානාපතිවරුන් නැවත කැඳවීමෙන් පසුව වෘත්තීය විදේශ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨයන්ට තානාපති අවස්ථා විවෘත වීමට නියමිතව තිබිණි. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වී තිබුණේද තානාපති සේවය සඳහා දේශපාලන පත්වීම් නොකරන බවය. පිළිගත් ලකුණු ක්‍රමවේදයක් අනුගමය කරමින් වෘත්තීය විදේශ සේවයේ නියුතු නිලධාරීන් අතරින් තානාපතිවරුන් පත් කරන බවට පොරොන්දුවක් විය.

එය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය කරන වෘත්තීය තානාපති සේවයේ නිලධාරීන් තුළ නව බලාපොරොත්තුවක් ඇති කර තිබුණේය. දැඩි තරගකාරීත්වයක් ඇති තරග විභාගයකට මුහුණදීමෙන් පසුව විදේශ සේවයට එක්වීමට නම් කඩුලු කිහිපයක් පසු කිරීමට සිදුවන්නේය. විදේශ සේවයට එක්වීමට නම් පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් දිනා තිබීම අනිවාර්ය වෙයි. ශ්‍රී ලංකා විදේශ සේවයට බඳවා ගැනීමේ තරග විභාගයට මුහුණදී සමත්වීමෙන් පසුව සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමට තිබේ. එම කඩඉම පසු කරගෙන විදේශ සේවයට බැඳෙන නිලධාරීන්ට, තානාපති සේවයේ ඉනිමගේ ඉහළට ගමන් කිරීමේ අවස්ථාව හිමිවන්නේය.
මව් බස සහ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණතාවය, දෙමළ සහ වෙනත් විදේශීය භාෂාවල ප්‍රවීණතාවය විදේශ සේවා ඉනිමගේ වේගයෙන් ඉහළට යාමට හේතු කාරණා වන්නේය. කාර්යක්ෂම කඩඉම් විභාග සහ පශ්චාත් උපාධිය ගැනීමෙන් පසුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ධුරයක් සඳහා පත්වීමේ අවස්ථාව හිමිවන්නේය. නියෝජ්‍ය අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ ජනරාල්, අතිරේක ලේකම් සහ අමාත්‍යාංශ ලේකම් දක්වා වන මාර්ගය එම නිලධාරීන්ට විවෘතවී තිබෙන්නේය.
අමාත්‍යාංශයේ සේවය කරන අතරවාරයේදී විදේශ තානාපති කාර්යාලයක සේවය කිරීම ඔවුන්ට ලැබෙන අනෙක් වෘත්තීය අවස්ථාවයි. තුන්වැනි ලේකම්, දෙවැනි ලේකම්, පළමු ලේකම්, අමාත්‍ය උපදේශක, අමාත්‍ය, තානාපති හෝ මහ කොමසාරිස් යන ධුරයන් තානාපති කාර්යාලවල විදේශ සේවයේ නිලධාරීන් වෙනුවෙන් විවෘතවී තිබෙන්නේය.

විදේශ සේවයට නිලධාරීන් බඳවා ගන්නේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරීන් ලෙසය. විදේශ සේවයේ වසර විස්සක් වැනි කාලයක් සේවය කරන නිලධාරියෙක් විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් ලෙස උසස්වීම් ලබන අතර එවැනි අයෙක්ට තානාපතිවරයෙක් හෝ මහ කොමසාරිස්වරයෙක්වීමට හැකියාව තිබෙන්නේය. මහ කොමසාරිස්වරුන් ලෙස හැඳින්වෙන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිතයක්ව සිටි රටවල්, එනම් පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රවල්වලට පත්කරන නිලධාරීන්ය.

විදේශ සේවයට බැඳෙන ඕනෑම අයෙක්ගේ සිහිනය වන්නේ තානාපතිවරයෙක් හෝ මහ කොමසාරිස්වරයකු වීමය. ඔහු ශ්‍රී ලංකාවේ නිල නියෝජිතයාය. මේ තනතුරට පත්වීමට පෙර විදේශ සේවයේ වසර විස්සක කාලයක් වන විට තානාපති කාර්යාල හතර පහක සේවය කිරීමේ අවස්ථාව විදේශ සේවයේ නිලධාරියකුට ලැබේ. එසේ බලන විට ඔහු තානාපති ධුරයට පත්වන්නේ අත්දැකීම් රැසක් සමගය.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ආකාරයට විදේශ සේවයේ නිලධාරීන් අතරින් තානාපතිවරුන් තෝරා ගන්නා බවට වූ පොරොන්දුව විදේශ සේවා නිලධාරීන් ආකර්ෂණය කරගෙන තිබුණේ මේ නිසාය.
එහෙත් පසුගිය සතිය වන විට විදේශ සේවා නිලධාරීන්ගේ සිහින බිඳ දමන යෝජනාවක් විදේශ කටයුතු අමාත්‍යාංශයට ඉදිරිපත්වී තිබුණේය. ඒ නව තානාපතිවරුන් පත් කිරීම සඳහා වන නම් ලයිස්තුවක් ඉදිරිපත්වීමය. මෙතෙක් නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් නොකළ එම ලයිස්තුව අනුව දේශපාලනික පත්වීම් අටක්ද ඇත.

නිව්​ෙයා්ර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයා ලෙස පත් කිරීමට යෝජනා කර ඇත්තේ ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරියයි. ඔහු හිටපු අගවිනිසුරුවරයාය. බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමට නියමිතව ඇත්තේ රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියෙක් වන එස්.ඩී.එන්. සේනාධීරය. පශ්චාත් උපාධියක් හැදෑරීම සඳහා බ්‍රිතාන්‍යයට ගොස් සිටි ඔහු සිය පශ්චාත් උපාධිය අවසන් කිරීමෙන් පසුව ආචාර්ය උපාධියක් සඳහා ලියාපදිංචිවි ඇති බව පැවැසේ. විශ්වවිද්‍යාලයෙන් දෙන අවසරය මත අර්ධකාලීන රැකියාවක් කිරීමට ඔහුට අවස්ථාව ලැබී ඇති අතර විශ්වවිද්‍යාලයේ පිරිසුදු කිරීම් කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ඔහු අර්ධකාලීන රැකියාවක් කරමින් සිටින්නේය.
ජපානයේ තානාපතිවරයා ලෙස පත් කිරීමට සූදානම් වන්නේ මහාචාර්ය පිවිතුරු ජනක කුමාරය. දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සේවය කරන ඔහු ජපානයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා තිබෙන්නේය. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා ලෙස පත් කිරීමට නියමිතව ඇත්තේ මහාචාර්ය අරූෂා කුරේය. ඇය කාලයක් එකස්ත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සමීපතයෙක් සහ විපක්ෂ නායකවරයාගේ සමීපතයෙක් ලෙස කටයුතු කරමින් සිට මේ වන විට ජාතික ජන බලවේගය ආණ්ඩුව සමග කටයුතු කරන ව්‍යාපාරිකයකුගේ ඥාතියෙකි. දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස්වරයා ලෙස පත්වීමට නියමිත එයාර් චීෆ් මාර්ෂල් උදේනි රාජපක්ෂ හිටපු ගුවන් හමුදාපතිවරයාය. නිව්​ෙයා්ර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ තානාපති තත්ත්වයේ තනතුරක් සඳහා ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ බිරිද වන සෙනාලි සමරතුංග පත් කිරීමට අපේක්ෂිතය.

මෙම පත්කිරීම් සම්බන්ධයෙන් යෝජනාව විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණි විට ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය එයට විරෝධය දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය

“ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සිය ජීවිතය කැප කළ, අත්දැකීම් බහුල, ඉහළ සුදුසුකම්වලින් යුත් වෘත්තීමය විදේශ සේවා නිලධාරීන් නොසලකා හැර කරන ලද මෙම පත්වීම් සම්බන්ධයෙන් දැඩි කලකිරීමකින් පසුවෙනවා. එවැනි නිලධාරීන් නොසලකා හරිමින් දේශපාලන පත්වීම් ලබාදීම විදේශ සේවය මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරත්වය අනතුරේ හෙළිමක්. දිගින් දිගටම ජාතික ජන බලවේග රජය විදේශ සේවය සඳහා දේශපාලන පත් කිරීම් සිදු කිරීම තුළින් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ ඒකාග්‍රතාවය අනතුරේ හෙළන අතර පළපුරුදු විදේශ සේවයට කැපවූ නිලධාරීන් අධෛර්යයට පත් කිරීමක්ද වෙනවා” ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් වේලාවක් ඉල්ලා ඇතත් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමයට මේ වන තෙක් ඒ සදහා අවස්ථාවක් ලැබී නැත.

සාමාන්‍යයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යාම සිය ප්‍රතිපත්තිය කර නොගත් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමයට සිදුව ඇත්තේ මෙය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම පමණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් පත් කිරීම ජනාධිපතිවරයාගේ බලතල අනුව, ජනාධිපතිවරයා විසින් සිදුකරන්නකි. ඒ නිසා අධිකරණ ක්‍රියාර්මාග ඔස්සේ තානාපතිවරු හා මහ කොමසාරිස්වරු පත් කිරීම රිවස් කරන ලෙසට ඉල්ලීම් කළ නොහැක්කේය.

කෙසේ වෙතත් තානාපතිවරුන් පත් කිරීමේදී ඒ සඳහා සුදුසුකම් ඇති පුද්ගලයන් පත් කිරීම වඩාත් වැදගත් බව විදේශ සේවය සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රාමාණිකයෝ පවසති.

“ඒ ඒ රටවල පත් කිරීම් කරන විට පත් කරන පුද්ගලයාගේ පෞරුෂය ගැනත් අවධානය යොමු කළ යුතු වෙනවා. බ්‍රිතාන්‍ය වගේ රටක් ගත්තම ඒ රටේ රාජ්‍ය තාන්ත්‍රිකයන් වගේම ඒ රටේ ඉන්න ශ්‍රී ලාංකික පුරවැසියනුත් බලපාරොත්තු වන පෞරුෂයක් තියෙනවා. එවැනි පෞරුෂයක් නැති අයෙක් පත් කළොත් තානපති සේවයේ කටයුතු නිවරදිව කරගෙන යන්න බැහැ” විශ්‍රාමික තානාපති නිලධාරියෙක් සඳහන් කළේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ මහාචාර්ය මනීෂා පැස්කුවෙල් සඳහන් කරන්නේ විදේශ සේවයෙන් තානාපති පත් කරනවාද නැතිනම් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි දේශපාලනිකව තනතුරු සඳහා පත් කිරීම් කරනවාද යන්න ඔවුන් පත්වන රට අනුව තීරණය විය යුතු බවය.
“එම තානාපතිවරුන් හෝ මහ කොමසාරිස්වරුන් පත් වන රට අනුව පත් කිරීම වෙනස් වෙන්න පුළුවන්. ලෝකයේ වැදගත් තීන්දු තීරණ ගන්නා මර්මස්ථාන තියෙනවා. ඒ වගේ වැදගත් තැන්වලට වෘත්තීය තානාපති සේවයේ, නැතිනම් විදේශ සේවයේ නිලධාරීන් පත් කිරීම වැදගත්. ඒ වගේම විදේශ සේවයෙන් පිටත පත් කිරීම් කරනවා නම් පිළිගැනීමක් ඇති අය පත් කළ යුතුයි. ඇතැම් විට එක් රටක් පිළිගන්නා පුද්ගලයෙක් වෙනත් රටක පිළිගන්නා අයෙක් නොවෙන්න පුළුවන්. ඒ නිසා මෙම පත් කිරීම් රටවල් අනුව තෝරාගත යුතු වෙනවා” මහාචාර්ය මනීෂා පැස්කුවෙල් පවසන්නීය.

ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරියෙක් තානාපතිවරයෙක් ලෙස පත් නොවන සෑම තානාපති කාර්යාලකම දෙවැනියා පත් කරන්නේ විදේශ සේවයේ නිලධාරියෙක්ගෙනි. තානාපති කාර්යාලයේ සියලුම පරිපාලන කටයුතු කෙරෙන්නේ එම නිලධාරියා මගිනි. බොහෝ විට තානාපතිවරයාට අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම් කරන්නේද එම නිලධාරීන්ය.

ඒ වෙනත් ක්ෂේත්‍රවල ප්‍රවීණතාවය දැක්වූ පුද්ගලයන් තානාපතිවරු බවට පත්වුවත් ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කළමනාකරණයේ ප්‍රවීණයන් නොවන නිසාය. කවුරුන් තානාපති වුවත්, මහ කොමසාරිස් වුවත් විදේශ සේවයේ නිලධාරින්ගේ සහාය නොමැතිව ඔවුන් සාර්ථක තාකාපතිවරුන් බවට පත්වන්නේ නැත. ඒ නිසා විදේශ සේවය කළමනාකරණය කරගැනීම ජාත්‍යන්තර වශයෙන් රටේ කීර්තිනාමය ඉහළට ඔසවා ගැනීමටත්, ජාත්‍යන්තර වශයෙන් වන සහාය ගැනීමටත් අත්‍යවශ්‍ය බව නොකියවමනාය. 

සංජය නල්ලපෙරුම (Aruna Paper)