පළාත් සභා ඡන්දය තියන දවස – තියන විදිය රටට කියන්න – මානව හිමිකම් කේන්ද්‍රයෙන් ආණ්ඩුවට දැනුම්දීමක්

වසර 11 කට පසුව පැවැත්වීමට නියමිත ඊලඟ පලාත් සභා ඡන්දය ඡන්දය, පැරණි සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වීමට රජය සලකා බලමින් සිටින බව රජයේ ජ්‍යෙෂ්ඨයෙකු ප්‍රකාශ කළ බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇති අතර රජය සැබෑ ලෙසම පළාත් සභා ඡන්දය ‍සිය මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළ ආකාරයට මේ වසර තුල පැවැත්වීමට පියවර ගන්නේ නම්, ඒ බව හැකි ඉක්මනින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය රජයෙන් ඉල්ලා සිටී. 

රජය සැබෑ ලෙසම පළාත් සභා ඡන්දය ‍සිය මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළ ආකාරයට මේ වසර තුල පැවැත්වීමට පියවර ගන්නේ නම්, ඒ බව හැකි ඉක්මනින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය රජයෙන් ඉල්ලා සිටී. පළාත් සභාව නැවත වරක් ‘මහජනතාව විසින් මහජනතාව උදෙසා ගෙනයන පාලනයක්’ බවට පත් කළ යුතුව ඇත. පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පවත්වා, එය මහජන නියෝජිතයින්ගෙන් සමන්විත පාලනයක් බවට පත් කිරීමට සහායවීම සැමගේ වගකීමක් බව නිවේදනයක් නිතුත් කරමින් මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 

මේ වසරේ දී පළාත් සභා ඡන්දයක් පැවැත්වෙන්නේ නම්, එක් කෝටි අනූ ලක්ෂයකට ආසන්න ඡන්දදායකයින් ප්‍රමාණයකට පළාත් සභා 9 ක් සඳහා ඔවුන්ගේ ඡන්දයෙන් මහජන නියෝජිතයින් පත් කර ගැනීමට අවස්ථාව හිමිවනු ඇත. එය ජනතාවගේ ප්‍රශ්න ජනතා නියෝජිතයින් විසින් විසඳන පරිසරයක් නැවත නිර්මාණය කරනු ඇතැයි නිවේදනයේ දැක්වේ.  

සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ විසින් මාසයකට ආසන්න කාලයක් පළාත් සභා ඡන්දය මේ වසර තුල පැවැත්වීමට කටයුතු කරන ලෙස රජයට බලපෑම් කරමින් සිටී. රජයේ ජ්‍යෙෂ්ඨයින් මේ දක්වාම ප්‍රකාශ කර සිටියේ නව සීමා නිර්ණය කමිටුවක් පත් කරන්නේ ද, නැතිනම් පැරණ සමානුපාතික ක්‍රමයට ඡන්දය පැවැත්වෙන්නේ ද යන්න පිළිබඳ රජය තවමත් නිල තීරණයක් ගෙන නොමැති බවයි. 

මේ දක්වාම රජය පළාත් සභා ඡන්දය පැවැත්වීම පිළිබඳ නිල ප්‍රකාශයක් සිදු කර නැත.  එවැන්නක් සිදු කිරීමේ බලය හා වගකීම ඇත්තේ ගරු ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට ය.  ජාතික ජනබලවේගය මැතිවරණ ප්‍රකාශනයේ දැක්වෙන්නේ වසරක් තුල පළාත් සභා ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බවය. රජය ජිනීවා මානව හිමිකම් කොමිසම් සභාව වෙත වාර්තා කරනු ලැබූබේ සීමා නිර්ණය ගැටළු විසඳීමෙන් පසුව ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බවයි. මෙම ව්‍යාකුල තත්වය සමනය කිරීම සඳහා ඡන්ද ක්‍රමය සහ ඡන්දය පැවැත්වෙන දින වකවානු වහා ප්‍රසිද්ධ කිරීම රජයේ වගකීම වන්නේය.