පාර්ලිමේන්තු ලොක්කා ‘පැය පහක් ‘රහස් පොලිසියේ කරුණු කියූ හැටි

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතාගෙන් පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත්තේය.

එම දෙපාර්තමේන්තුවෙන් කෙරුණු දැනුම්දීමක් අනුව ජයලත් පෙරේරා එහි පෙනී සිටියේය.

එම දෙපාර්තමේන්තුව මෙයට පෙරද ජයලත් පෙරේරා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණ.

පාර්ලිමේන්තුව වෙබ් අඩවියට මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් කිරීමේ වගකීම පැවරී ඇති සභා ලේඛන කාර්යාලය පවතින්නේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂවරයා යටතේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙයට පෙර සභා ලේඛන කාර්යාලයේ ප්‍රධානියාගෙන්ද  අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවිය සඳහන් කළ එම කාර්යාලයේ සේවකයෙකුගෙන් සහ සේවිකාවකගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

එම දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ.

මේ අතර සභා නායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක සඳහන්ව තිබූ තොරතුරු අනුව හර්ෂන නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කළ බව එම සේවකයන් එහිදී සඳහන් කර ඇත. එම ලේඛනය සභා නායක කාර්යාලයට ලැබී තිබුණේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව එම කාර්යාල නිලධාරීන්ගෙන්ද මේ පිළිබඳව ඉදිරියේදී ප්‍රශ්න කෙරෙනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ  තමාගේ නම ඉදිරියෙන් ආචාර පදවියක් සඳහන් කිරීමෙන් තමාට අපහාසයක් සිදු වූ බව පවසමින් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පසුගියදා පැමිණිල්ලක් කළේය.

එම දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කළේ ඒ අනුවය.

මේ සිද්ධිය  කතාබහට ලක්වීමෙන් පාර්ලිමේන්තුවේද  පසුගියදා දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.