දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ කටුනායක ගුවන්තොටුපොළ දක්වා ගමන් කරන ඇතැම් වාහන විවිධ පුද්ගලයින් විසින් පරීක්ෂා කිරීම, ඇඳිරිනීතිය පනවන ලද අවස්ථාවලදී ලබා ගන්නා ලද වීඩියෝ දර්ශන ආදී වීඩියෝපට මේ දිනවල හුවමාරු වෙමින් පවතින බවයි.
මෙවැනි වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් වැරදි මතයක් සමාජ ගතවන බව හා අදාළ වීඩියෝ පට කාලීන සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරීම ජනතාව නොමග යැවීමක් එහි සඳහන් වනවා.
එසේම එය රට තුළ මහජන සාමය හා නීතිය ආරක්ෂා කිරීමට සෘජු ලෙස බාධා ඇතිවන බවයි පොලීසිය පවසන්නේ.
මේ හේතුවෙන් එවැනි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ පළ කිරීම හා බෙදා හැරීමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එවැනි ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයේ වීඩියෝ දර්ශන පළ කරනු ලැබුවහොත් එවැනි අයට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බව වැඩිදුරටත් සඳහන් වනවා.