හමාස් හමුදා ප්‍රධානියා ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ඊශ්‍රායලය කියයි

හමාස් හමුදා ප්‍රධානී මොහොමඩ් ඩීෆ් පසුගිය මාසයේ ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව ඊශ්‍රායල හමුදාව පවසන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ ඉකුත් ජුලි මස 13වනදායි.

කෙසේවෙතත් හමාස් සංවිධානය තවමත් ඔහුගේ මරණය තහවුරු කර නැහැ.

නමුත් 1,200 දෙනෙකුට මරු කැඳවමින් දකුණු ඊශ්‍රායලයේ ඔක්තෝබර් 7 ප්‍රහාරය සැලසුම් කිරීමට වගකිව යුතු එක් චරිතයක් ඩෙයිෆ් වන බවයි ඊශ්‍රායලය පවසන්නේ.

මොහොමඩ් ඩීෆ් හමාස් ව්‍යාපාරයේ හමුදා අංශය වන ඉසෙඩින් අල්-කසාම් බළකායේ ප්‍රධානියා වුණා.

1989 වසරේදී ඊශ්‍රායල බලධාරීන් ඔහුව සිරගත කරන ලද අතර, පසුව ඔහු ඊශ්‍රායල සොල්දාදුවන් අල්ලා ගැනීමේ අරමුණින් බ්‍රිගේඩ්ස් පිහිටුවනු ලැබුවා.

1996 වසරේදී ඊශ්‍රායල ජාතිකයන් දස දෙනෙකුට මරු කැඳවූ බස් බෝම්බ ප්‍රහාර සැලසුම් කිරීම සහ අධීක්ෂණය කිරීම සහ 1990 දශකයේ මැද භාගයේදී ඊශ්‍රායල සොල්දාදුවන් තිදෙනෙකු අල්ලා මරා දැමීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය ඔහුට චෝදනා එල්ලකර තිබෙනවා.

ඔහු හමාස් සටන්කාමීන්ට ගාසා තීරයේ සිට ඊශ්‍රායලය තුළට ඇතුළු වීමට ඉඩ සලසන උමං මාර්ග ඉදිකිරීමට ඉංජිනේරුවරයාට සහාය වූ බව ද ප්‍රසිද්ධයි.