හමාස් ප්‍රධානියාගේ මරණය ඝාතනයක්?පළිගැනීමට ප්‍රතිප්‍රහාරයකුත්

පලස්තීන හමාස් සංවිධානයේ ප්‍රධානියා වන ඉස්මයිල් හනියේව ඉරානයේ දී ඝාතනය කර ඇති බව හමාස් සංවිධානය පවසනවා.

ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්හි හමාස් නායකයා නැවතී සිටි නිවසට එල්ල කළ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

ඊශ්‍රායලය විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි හමාස් සංවිධානය චෝදනා එල්ල කරන්නේ.

නමුත් ඊශ්‍රායලය එම චෝදනාව සම්බන්ධයෙන් මේ වනතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

ඉරාන නව ජනාධිපති මසූඩ් පෙසේෂ්කියන්ගේ පදවි ප්‍රාප්තියට ඊයේ (30) දිනයේදී ඉස්මයිල් හනියේ එක්ව සිටි අතර අනතුරුව ඔහු ඉරාන ජනපතිවරයාව සහ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමෙනිව හමුවී තිබුණා.

හමාස් සංවිධානය පවසන්නේ අදාළ ප්‍රහාරය හේතුවෙන් හමාස් නායකයාගේ ආරක්ෂකයෙක්ද මියගොස් ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කෙසේවෙතත් පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ හමාස් නායකයින් කිහිප දෙනෙක් ඉස්මයිල් හනියාගේ මරණය “ඝාතනයක්” ලෙස විස්තර කරමින් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ප්‍රතිඥා දී බව සඳහන් වනවා.