රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක රාජ්‍ය ඇමතිගෙන් උපදෙස්

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරි ජනාධිපතිවරණය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසට ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා අදාළ උපදෙස් ලබා දී ඇත්තේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අද (26) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ දීයි.

මෙම කාරක සභා රැස්වීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන ප්‍රධානීහූ කැඳවා තිබුණා.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි මෙම සියලු කටයුතු සිදුකරන ලෙස අමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් කළා.

පසුගිය වසර දෙකක ඉතාම සංකීර්ණ කාලය තුළ අමාත්‍යාංශයක් ලෙස බරපතළ තීන්දු තීරණ ගැනීමට සිදුවු බවත් එම කාලය තුළ ජාතික ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කරමින් රට ස්ථාවර කිරීමට හැකිවවූ බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

එමනිසා ඒ සඳහා කැපවූ සියලු පාර්ශවයන්ට ජනාධිපතිවරයා වෙනුවෙන් ස්තූතිය පළ කර සිටි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, ආරක්ෂක අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති සියලු ආයතනවල කටයුතු නිසිපරිදි ඉදිරියේදීත් ඉටුකරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

ත්‍රිවිධ හමුදාව තවදුරටත් ශක්තිමත් කිරීමට අදාළ කරුණු මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් ද මෙම කාරක සභා රැස්වීමේ දී අවධානය යොමු කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!