INSEE හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (COO) ලෙස තුසිත් සී. ගුණවර්ණසූරිය පත් කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE Cement ලෙස හැඳින්වෙන සියම් සිටි සිමෙන්ති (ලංකා) සමාගම (Siam City Cement (Lanka) Limited), 2025 ජනවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (COO) ලෙස තුසිත් සී. ගුණවර්ණසූරිය පත් කෙරේ.

බහු කර්මාන්ත පුරා විහිදුණු වසර 24කට අධික විවිධාකාර නායකත්ව අත්දැකීම් ඇති මෙතුමා, මෙහෙයුම් විශිෂ්ටත්වය, උපායමාර්ගික අවබෝධය සහ නවෝත්පාදනය ආදිය පිළිබඳ කැපී පෙනෙන අත්දැකීම් සම්භාරයක් සමගින් INSEE ආයතනය සමග එක්වෙයි.

Holcim (Lanka) Ltd, LafargeHolcim සහ INSEE යටතේ INSEE හි දියුණුව උදෙසා සිය වෘත්තීය දිවියේ දශකයක් කැප කළ මෙතුමා, සමාගමේ මෙහෙයුම් උපාය මාර්ග සංවර්ධනය සහ එහි සාර්ථකත්වය සඳහා මහඟු සේවාවක් ඉටු කර ඇත. ඔහුගේ දායකත්වය INSEE හි දියුණුව සහ තරඟකාරී ලොවෙහි ප්‍රමුඛත්වය උදෙසා අති මහත් බලපෑමක් ඇති කර තිබේ.

“නව්‍යකරණය, තිරසාරභාවය මෙන්ම මෙහෙයුම් විශිෂ්ටත්වය පිළිබිඹු කෙරෙන INSEE සමාගමේ මෙම නව භූමිකාව භාර ගැනීමට ලැබීම පිළිබඳ මම අතිශයින් සතුටට පත් වන අතරම සැමට තිරසාර වූ අනාගතයක් ගොඩනැගීමේ INSEE මෙහෙවරට දායක වෙමින් සමාගම තව දුරටත් දියුණු කිරීම සඳහා අපගේ කණ්ඩායම සමඟ කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.” ලෙස තුසිත් ගුණවර්ණසූරිය ඔහුගේ නවමු පත්වීම පිළිබඳ අදහස් දැක්වීය.

INSEE සමාගමට අමතරව, Lion Brewery (Ceylon) PLC, Hemas Manufacturing (Pvt) Ltd, Fonterra Brands Lanka (Pvt) Ltd, GlaxoSmithKline සහ MAS Active ඇතුළු ප්‍රමුඛ පෙළේ බහුජාතික සහ දේශීය ආයතනවල නායකත්ව භූමිකාවන් ද මෙතුමාගේ ආකර්ෂණීය වෘත්තීය දිවිය තුළ ඇතුළත් වේ. ඔහුගේ ප්‍රවීණත්වය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව, බංග්ලාදේශය, ස්විට්සර්ලන්තය, තායිලන්තය සහ කෙන්යාව ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳපොළවල් ආවරණය කරමින් විහිදී ඇත.

තුසිත් මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්වවිද්‍යාලයෙන් (Coventry University, UK) ව්‍යාපාර සහ සංවිධානාත්මක මනෝවිද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත. ඔහු ස්විට්සර්ලන්තයේ IMD (IMD, Switzerland) සහ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ (National University of Singapore) විධායක නායකත්ව සංවර්ධන වැඩසටහන් සඳහා ද සහභාගී වී ඇත.

ව්‍යාපාර උපාය මාර්ග, මෙහෙයුම් සහ සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ පිළිගත් චින්තන නායකයෙකු වන මෙතුමා දේශීය හා ගෝලීය වශයෙන් දැනුම් සංසද සඳහා ක්‍රියාකාරීව දායක වේ. ඔහු IEEE (US), එක්සත් රාජධානියේ වරලත් සැපයුම් සහ ප්‍රවාහන ආයතනය (CILT), ශ්‍රී ලංකා සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය (ISMM) සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) ඇතුළු ප්‍රසිද්ධ වෘත්තීය සංවිධානවල සාමාජිකයෙකි.

ඔහුගේ පුළුල් ප්‍රවීනත්වය සහ දූරදර්ශී නායකත්වය සමඟින්, තුසිත් සී. ගුණවර්ණසූරිය ඉදිරි වසරවලදී තිරසාර වර්ධනයක් සහ මෙහෙයුම් විශිෂ්ටත්වයක් පෝෂණය කරමින් INSEE ඉහළ තලයකට ගෙන යාමට සූදානමින් සිටී.