නිහඬ කාලයේ ප්‍රචාරණ කටයුතු කළොත් නීති තදයි

2024 ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වුණා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ මේ වනවිට ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ මූලික කටයුතු සියල්ල සිදුකර ඇති බවයි.

මේ අතර මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබා දී තිබූ කාල සීමාවෙන් පසුව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පැවසුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඒ සඳහා අදාළ බලධාරීන් සමග මේ වනවිට සාකච්ඡා පවත්වා ඇති බවයි.

මැතිවරණ කාල සීමාව තුළ ජාතික ආරක්ෂාවට හානි වන ආකාරයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

ජනාධිපතිවරණයෙහි ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 63,000කට අධික පිරිසක් යොදවා ඇතැයි ද නිහාල් තල්දූව මහතා සඳහන් පැවසුවා.

මේ අතර ඊයේ දිනය අවසන් වනවිට මැතිවරණය පැමිණිලි 449ක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 309ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ලෙසට වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඒ හා සම්බන්ධව පුද්ගලයින් 108 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!