IDAG සහ BALPP ඒකාබද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාඨමාලාවක්

පාර්ලිමේන්තු ආණ්ඩුකරණය පිළිබඳ ප්‍රවීණයින් ඇසුරේ අධ්‍යයනය සඳහා අවස්ථාවක්!

ආණ්ඩුකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ආයතනය (Institute of Democracy and Governance – IDAG) සහ නායකත්වය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ බණ්ඩාරනායක (Bandaranayake Academy for Leadership and Public Policy – BALPP) ආයතන අද (25) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී.

එහිදී IDAG ආයතනයේ මාර්ගෝපදේශකත්වය යටතේ BALPP ආයතනය විසින් විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් සහ දේශීය සහ ජාත්‍යන්තර විෂයය ප්‍රවීණයින් සම්බන්ධ කරගනිමින් විධායක සහතිකපත්‍ර පාඨමාලාවක් ලෙස මෙම පාඨමාලාව පැවැත්වීමට සැලසුම්කර තිබේ.

නොමිලයේ පැවැත්වෙන මෙම පාඨමාලාව සඳහා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට ද පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ උනන්දු පුරවැසියන් හට ද ලියාපදිංචිවීමට අවස්ථාව ඇත.

මෙම අවස්ථාවට එක්වු IDAG ආයතනයේ නිර්මාතෘ ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරන ලද්දේ මෙම පාඨමාලාව ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපත් ආණ්ඩුකරණය සඳහා කැපවුණු IDAG ආයතනයේ දීර්ඝ ගමනක ආරම්භය බවත් ආචාරධාර්මික දේශපාලනයක් සහ දැනුම කුසලතා සහ ආකල්ප වලින් දියුණු ප්‍රජාතාන්ත්‍රීය වටිනාකම් අගයන යහපත් පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිසක් මේ ඔස්සෙ බිහිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ය.

එමෙන්ම මෙම අවස්ථාවට එක් වූ නායකත්වය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ බණ්ඩාරනායක ආයතනයේ ප්‍රධානී වෛද්‍යා ටාරා ද මෙල් මැතිණිය ප්‍රකාශ කරන ලද්දේ මෙම ඓතිහාසික අවබෝධතාවය හුදු පාඨමාලාවක් සඳහා පමණක් නොව යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා එක්ව තබන පියවරක් වන බවත් මෙම පාඨමාලාවෙන් පසු තවත් මෙවැනි පාඨමාලාවන් රාශියක් මෙම ආයතන ද්විත්වයට එක්ව ආරම්භ කළ හැකි වනු ඇති බවත් ය.

මෙම ආයතන විසින් ආරම්භ කිරීමට නියමිත පාඨමාලා ආරම්භය එළඹෙන මාර්තු මස අවසාන සතියේ සිට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇත.