බදු නිලධාරීන් ලෙස පෙනීසිටිමින් මුදල් වංචාවකට සැරසුණු යුවළක් කොටුකරගත් හැටි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලෙස සැකසූ ව්‍යාජ හැඳුනුම්පත් සහ ලේඛන පෙන්වා මුදල් වංචා කිරීමට පැමිණි පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලුත්ගම දර්ගා නගරයේ පිහිටි රන් භාණ්ඩ අලෙවි ස්ථානයකට ඊයේ (29) සවස ඇතුළු වූ එම පුද්ගලයා සහ කාන්තාව ඔවුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා, ඔවුන් සතුව තිබූ හැඳුනුම්පතක් සහ ව්‍යාජ ලේඛන පෙන්වා තිබෙනවා.

පසුව එම වෙළඳසැලෙන් මුදල් වංචා ලෙස ලබාගැනීමට උත්සාහ කළ ඔවුන් දෙදෙනා, ප්‍රදේශවාසීන් එක්ව අල්ලා අලුත්ගම පොලීසියට භාරදීමට කටයුතු සිදුකළා.

වෙළෙඳසැලට ඇතුළු වූ අදාළ පිරිමි පුද්ගලයා සහ කාන්තාව එම වෙළෙඳසැල නියමිත බදු ගෙවා නැති බවත්, රුපියල් ලක්‍ෂ දහයක හිඟ මුදලක් ඇති බවත් පවසමින් හිමිකරුව නොමඟ යවා තිබෙනවා.

කෙසේ නමුත් වෙළෙඳසැලේ හිමිකරු තම පුතාට මේ බව දැනුම් දී ඇති අතර, ඔහු විසින් මෙම යුවළ වංචාවක් කිරීම සඳහා පැමිණි දෙදෙනෙක් බවට හඳුනාගෙන ප්‍රදේශවාසීන් හා එක්ව ඔවුන් දෙදෙනාව අලුත්ගම පොලීසියට බාරදී ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී අනාවරණය වී ඇත්තේ බදු නිලධාරීන් ලෙස පුද්ගලයින් කණ්ඩායමක්ම අලුත්ගම ප්‍රදේශයට පැමිණ සිට ඇති බවත්, මොවුන් දෙදෙනා අල්ලා ගැනීමෙන් පසු අනෙක් පුද්ගලයින් එම ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි.

මෙම කණ්ඩායම මීට පෙර කඳාන ප්‍රදේශයේ රන් භාණ්ඩ වෙළෙඳසැල්වලට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබූ අතර එම වෙළෙඳසැලේ හිමිකරුගේ පුත්‍රයා ඒ බව වට්සැප් සමූහයක් මගින් හඳුනාගෙන තිබූ නිසා මෙම වංචාව හෙළිකර ගැනීමට ඔවුන් සමත්වී තිබුණා.

ආදායම් නිලධාරී ලෙස පෙනී සිටින වංචනික කණ්ඩායම් මේ වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශවල වංචාකාරී කටයුතු සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව අලුත්ගම පොලීසිය පවසනවා.

ඒ අනුව කඳාන, මාතලේ, පානදුර ආදී ප්‍රදේශවලද මෙවැනි සිදුවීම් සිදුව ඇති බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකාර මෙම දෙපළ අද (30) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.