ඓතිහාසික රංගිරි – දඹුලූ රජමහා විහාරයේ භාරකාර අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන් අපවත් වෙති

ඓතිහාසික රංගිරි – දඹුලූ රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුල්ල මැද පන්සලයෙහි අධිපති සිරි වළගම්බා මහා පිරිවෙන් අධ්‍යක්ෂ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී අද (19) අපවත් වී තිබෙනවා.

උන්වහන්සේගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවයි විහාරස්ථ දායක සභාව පවසනවා.

අපවත් වන විට උන්වහන්සේ 63 වන වියේ පසුවුණා.

1961 වසරේ ජූලි මස 13 වැනිදා දඹුල්ල දිසා රෝහලේදී උපත ලැබූ උන්වහන්සේ කුඩා අවදියේදීම ඓතිහාසික රංගිරි – දඹුල්ල රජමහා විහාර මැද පන්සලේ පැවිදි දිවියට එක්ව තිබෙන බව සඳහන් වනවා.

එදා සිට අපවත් වන කාලය දක්වාම උන්වහන්සේ දඹුලු පුරවරයට පමණක් නොව මුළු මහත් සමාජයටම විශාල සමාජීය ආගමික සේවාවන් රැසක් ඉටු කර තිබෙනවා.

අඹගස්වැවේ රාහුල නාහිමියන් 1982 ජුනි මස 26 වන දින උපසම්පදාව ලබා ගනු ලැබුවා.