හිරුණිකාට නියම කෙරුණේ ලිහිල් දඬුවමක්ද ? ඇත්ත නැත්ත මෙන්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කෙරුණා.

2015 වසරේ දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් මෙම දඬුවම් නියම කරනු ලැබුවා.

මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින්.

ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය චෝදනා 18කට වරදකාරිය කෙරුණු අතර එම එක් එක් චෝදනාවට රුපියල් 20,000 බැගින් දඩ නියම කරන බවත් විනිසුරවරයා නියෝග කළා.

එම දඩ මුදල් ගෙවීම පැහැර හැරියහොත් එක් චෝදනාවට මාස 06 බැගින් සිර දඬුවම් නියම කරන බවත් එම නියෝගයේ සඳහන් වුණා.

විත්තිකාරිය තරුණයෙකු පැහැරගෙන යාමේ චෝදනාවට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීමේ චෝදනාවලට වරදකරු කරන බව නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණය ප්‍රකාශ කළා.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගත් මෙම විත්තිකාරියගේ ආධාරකරුවන් අට දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අත්හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බව සිහිපත් කළා.

එසේම විත්තිකාරිය සිදුකර ඇති වරදවල ස්වභාවය අනුව ඇයට බරපතළ වැඩ සහිත වසර 69ක සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයට හැකියාවක් තිබෙන බවත් ඔහු පැවසුවා.

විත්තිකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක වශයෙන් කටයුතු කරමින් ඇයගේ බලතල පාවිච්චිකොට සාමාන්‍ය වෙළෙඳසැලක සේවය කළ පුරවැසියෙකු පැහැරගෙන ගොස් පවුල් ආරවුල් විසඳීමට කටයුතු කිරීම සුළුවෙන් තැකිය නොහැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහජනයා විශ්වාසය තබා තෝරා පත්කරන ලද තැනැත්තියක් මේ ආකාරයෙන් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් එහිදී ප්‍රකාශ කළා.

මෙය ඉතා බරපතළ කරුණක් වන බව හා මෙය විත්තිකාරිය බන්ධනාගාරගත කළ යුතු වරදක් බව සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා එම දඬුවම අත්හිටවූ සිර දඬුවමක් බවට පරිවර්තනය කිරීම නුසුදුසු බවත් පැවසුවා.

විත්තිකාරිය වරදක් සිදුකළ බව ඇයට ඒත්තු ගැන්විය යුතු වන ආකාරයේ මෙන්ම ඒ පිළිබඳව සමාජය දැනුවත් වන ආකාරයේ දඬුවමක් විත්තිකාරියට ලබා දිය යුතු බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දැක්වුවේ.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ යම් පුද්ගලයෙකු මෙම විත්තිකාරිය ගමන් කළ මාර්ගයේ ගමන් කිරීමට සූදානම් වන්නේ නම් සහ නීත්‍යානුකූලව ජීවත්වන අයට නීතියේ රැකවරණය ලැබෙන බව ඇඟවෙන ආකාරයේ දඬුවමක් මෙම විත්තිකාරයට ලබා දිය යුතු බවයි.

විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම විත්තිකාරියට අවුරුදු තුන, හතර සහ පහ යන වයස් වලට අයත් කුඩා දරුවන් තුන් දෙනෙකු සිටින බව හා ඇය බන්ධනාගාර ගත කළොත් එම දරුවන්ට දැඩි අගතියක් සිදුවන බවයි.

එබැවින් විත්තිකාරිය බන්ධනාගාරගත කිරීමකින් තොරව ඇයට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසට ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව එම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

මෙම තීන්දුවට එරෙහිව විත්තිකාරිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අභියාචනයක් ඉදිරිපත් කරන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැවසුවා.

ඒ අනුව දඬුවම් නියම කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ පසුවනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!