ශ්‍රී ලංකාවේ ප්‍රකට තේ සන්නාමයක් වන වටවල තේ (Watawala Tea) සමාගම, නිකුත් කළ ‘Him, Her and Them’ (ඔහු, ඇය සහ ඔවුන්) කෙටි චිත්‍රපටය සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත් කර ඇත . එම චිත්‍රපටයට අදාලව ඇති වූ මහජන විවේචන හේතුවෙන්, එම චිත්‍රපටය සියලු වේදිකාවලින් ඉවත් කර ගැනීමට තීරණය කර ඇතිබව එම නිවේදනයේ සඳහන් වෙයි .
වටවල තේ සමාගම විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශයක මෙසේ සඳහන් වේ:
“ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය තේ සන්නාමයක් ලෙස, වටවල තේ සැමවිටම ජනතාව එක්තැන් කිරීම විශ්වාස කරන අතර, අපගේ කතාන්දර තුළින් ශ්‍රී ලාංකේය පවුල්වල උණුසුම හා ශක්තිය දිගු කලක් සමරා ඇත.
අපගේ මෑත කෙටි චිත්‍රපටය වන ‘Him, Her and Them’ නිර්මාණය කළේ ද එම උදාර අරමුණ පෙරදැරිවය. එය පවුල් ජීවිතයේ එදිනෙදා හැඟීම් මෙන්ම, සෑම දරුවෙකුම තමන්ගේම ආකාරයෙන් ඉගෙන ගන්නා ශක්තිය හා සංවේදීතාව අතර සමබරතාවය පිළිබිඹු කිරීමට අදහස් කරන ලදී.
කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය අප කිසිසේත් අපේක්ෂා නොකළ ආකාරයෙන් අර්ථකථනය වී ඇති බවත්, අපගේ වටිනා පාරිභෝගිකයන් කිහිප දෙනෙකු අතර එය අපහසුතාවයක් හෝ කනස්සල්ලක් ඇති කර ඇති බවත් අපි තේරුම් ගනිමු. ඒ ගැන අපගේ කණගාටුව පළ කරමු.
සන්නාමයක් ලෙස, අපි ඔබ සැමගේ අදහස්වලට සවන් දෙන අතර, පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය පවුල් එක්සත් කරන පොදු වටිනාකම් කෙරෙහි ගරු කරමින්, මෙම චිත්‍රපටය අපගේ වේදිකාවලින් ඉවත් කිරීමට තීරණය කර ඇත්තෙමු.
